ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

4. චතුක්ක නිපාතය

1. සල්ලකත්ත බ්‍රාහ්මණ සූත්‍රය

“මහණෙනි, මම බ්‍රාහ්මණ වෙමි. යාචකයන් හා යෙදුනේ වෙමි, ධර්ම දානයෙහි යෙදුනේ වෙමි. (නොහොත්) පරිත්‍යාග වැඩීමෙහි යෙදුනේ වෙමි. හැමකල්හි (සද්ධර්මදානය දීමට) පිරිසිදු කරණ ලද අත් ඇත්තේ වෙමි. (සද්ධර්මදානයෙහි) යුක්ත ප්‍රයුක්ත වූයේවෙමි. බ්‍රහ්මචර්ය වාසයෙන්ද, පශ්චිම ආත්මභාවය දන්නේ වෙමි. (පිළියම් කිරීමට දුෂ්කරවූ වෘත්ත දුඃඛ නමැති රොගයට පිළියම් කරන හෙයින් උතුම්වූ වෙදා වෙමි. ශල්‍යකර්ම කරන වෙදා වෙමි. තෙපි ඒ මාගේ හෘදය සම්බන්ධවූ මුඛයෙන් උපන්නාවූ ද්වාරයවූ ප්‍රාති මොක්ෂයෙන් උපන්නාවූ විමොක්ෂ මුඛයෙන් හෝ උපන්නාවූ ශාසන ධර්මයෙහි හෝ ආර්ය ධර්මයෙහි උපන්නාවූ ඒ ධර්මයෙන්ම මැවුණාවූ බෝධිපාක්ෂික ධර්ම දායාද කොට ඇත්තාවූ (ලාභසත්කාරාදී) ආමිෂ දායාද කොට නැත්තාවූ පුත්‍රයෝ වෙමු.

“මහණෙනි, ආමිෂදානයද ධර්මදානයද (යන) මේ දාන දෙකකි. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් මේ ධර්මදානයක් වේද, මේ ධර්මදානය උතුමි. මහණෙනි, තමා ලද සිව් පසය අනුන්ට බෙදා දීමද ධර්ම සංවිභාග (බණ කීම කියවීම උගැන්වීම් ආදිය) යන සංවිභාග දෙකෙකි. මහණෙනි, මේ බෙදීම් දෙක අතුරින් යම් මේ ධර්ම සංවිභාගයෙක් වේද, මේ ධර්ම සංවිභාගය ශ්‍රෙෂ්ඨය.

“මහණෙනි; මේ අනුග්‍රහ දෙකෙකි. ආමිෂානුග්‍රහය ධර්මානුග්‍රහය යන දෙකය. මහණෙනි, මේ අනුකම්පාවන් දෙක අතුරින් යම් මේ ධර්මානුග්‍රහයෙක් වේද, මෙය අග්‍රය.

“මහණෙනි, යාග (මහාදාන) දෙකෙකි. ආමිෂ යාගය ධර්ම යාගය (යන දෙකය) මහණෙනි, මේ මහාදාන දෙක අතුරෙන් යම් මේ ධර්ම යාගයෙක් වේද, මේ ධර්ම යාගය, උතුමියි.”

මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“මසුරු බැව් නැත්තාවූ සියලු සත්නට අනුකම්පා කරන්නාවූ තථාගත නම්වූ යම් බුදුවරයෙක් ධර්ම දානය දුන් සේක්ද, එබඳුවූ දෙව්මිනිසුන්ට ශ්‍රෙෂ්ඨවූ භවයන්ගේ පරතෙරවූ නිවනට පැමිණියාවූ උන්වහන්සේට සත්වයෝ වඳිතියි.”