ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

4. චතුක්ක නිපාතය

3. ජානතො ආසවක්ඛය සූත්‍රය

“මහණෙනි, මම දන්නහුගේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂයය කියමි. නොදන්නහුගේ නොදක්නහුගේ (ආශ්‍රවක්ෂයය) නොකියමි. මහණෙනි, කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම වේද?

“මහණෙනි, මේ දුක යයි දන්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම වෙයි. මහණෙනි, මේ දුක ඉපදීමට හෙතුවයයි. දන්නහුගේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම වෙයි. මහණෙනි, මේ දුක නිරුද්ධ කිරීමයයි දන්නහුගේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම වෙයි. මහණෙනි, මේ දුක නිරුද්ධ කිරීමට පමුණුවන ප්‍රතිපදාවයයි දන්නහුගේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම වේ. මහණෙනි, මෙසේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමවේ යයි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“හික්මෙන්නාවූ ඍජුවූ ආර්යමාර්ගයන් පිළිවෙළින් උපදවන්නාවූ ශෛක්ෂ පුද්ගලයාගේ ක්ෂය යයි කියන ලද අග්‍රමාර්ගයෙහි නුවණ පළමුව (උපදී) ඒ මාර්ග ඥානයට අනතුරුව රහත් බව උපදී. මාර්ගය අනුව යන්නහුගේ ක්ෂය නම්වූ ශ්‍රොතාපත්ති මාර්ගයෙහි පළමු ඤාණයවූ අනඤ්ඤාතඤ්ඤස්සාවීන්ද්‍රියය (උපදී,) ඒ පළමු ඤාණයෙන් අනතුරුව පටන් අන්‍යවූ අඤ්ඤින්ද්‍රියය (උපදී,)

“ඒ අඤ්ඤින්ද්‍රියයෙන් ප්‍රඥා විමුක්තියවූ අඤ්ඤාතාවින්ද්‍රියයෙන් මිදුනහුගේ උතුම්වූ ඵලයෙහි හා නිර්වාණයෙහිද ඥානය (උපදී,) ක්ෂය කරන්නාවූ (අනාර්ය මාර්ගයෙහි) ඤාණය (උපදී,) සංයොජනයෝ ක්ෂය කරන ලද්දාහුයයි (ප්‍රත්‍යවෙක්ෂාඥානය (උපදී,)

“සියලු ක්ලෙශ බැමිවල මිදීමට නිමිතිවූ මේ නිවන වූකලී අලසයා විසින්ද නොදන්නාවූ බාලයා විසින්ද නොම ලැබිය යුතුයයි.”