ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

4. චතුක්ක නිපාතය

4. ජාති ජරූපග (ශ්‍රමණ බ්‍රාහ්මණ) සූත්‍රය

“මහණෙනි, යම් කිසි ශ්‍රමණකෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ මෙතෙක් දුකයයි තත්වූ පරිද්දෙන් නොදනිද්ද, මේ මෙතෙක් දුක උපදින හෙතුයයි තත්වූ පරිද්දෙන් නොදනිද්ද, මේ දුක නිරුද්ධ කිරීමයයි තත්වූ පරිද්දෙන් නොදනිද්ද, මේ දුක නිරුද්ධ කිරීමට පමුණුවන ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් නොදනිද්ද.

“මහණෙනි, ශ්‍රමණවූ හෝ බ්‍රාහ්මණවූ හෝ ඔව්හු මා විසින් ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණයයි හෝ අනුනොදන්නා ලද්දාහුය. බමුණන් කෙරෙහි බමුණුයයි හෝ අනුනොදන්නා ලද්දාහුය. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණඵලය හෝ බ්‍රාහ්මණඵලය හෝ (නොහොත්) සතර ආර්ය මාර්ගය හෝ සතර ආර්යඵලය හෝ යම් ආත්මභාවයෙහිම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ නොම වෙසෙත්.

“මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් වේවයි බමුණෝ වේවයි මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනිද්ද, මේ දුක උපදින හෙතුයයි තත්වූ පරිද්දෙන් දනිද්ද, මේ දුක නිරුද්ධ කිරීමයයි තත්වූ පරිද්දෙන් දනිද්ද, මේ දුක නිරුද්ධ කිරීමට පමුණුවන පිළිපැදීමයයි තත්වූ පරිද්දෙන් දනිද්ද, මහණෙනි ශ්‍රමණවූ හෝ බ්‍රාහ්මණවූ හෝ ඔහු තුමූ මා විසින් මැඩ පවත්වන ලද පව් ඇති ශ්‍රමණයන් කෙරෙහිද ශ්‍රමණයයි දන්නා ලද්දාහුය; බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ යයි දන්නා ලද්දාහුය. ඒ ආයුෂ්මත්හුම සතර ආර්ය මාර්ගයද සතර ආර්ය ඵලයද මේ ආත්ම භාවයෙහිම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වෙසෙත් යයි.”

මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක; එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“යම් කෙනෙක් දුකද නැවත දුකෙහි ඉපදීම නොදනිද්ද, ඔහු යම් නිවනෙක්හි සියලු දුක නිරුද්ධ වේද; දුක සංසිඳුවීමට පමුණු වන්නාවූ ඒ මාර්ගයද නොදනිත්. චෙතො විමුක්තියෙන් හීනවූද යළි ප්‍රඥාවිමුක්තියෙන් හීනවූද ඔහු තුමූ සසර දුක කෙළවර කිරීමට යොග්‍යවූවෝ නොවෙත්. ඔහු තුමූ ඒකාන්තයෙන් ජාති ජරා දුක්වලට පැමිණෙන්නාහු වෙත්.

“යම් කෙනෙක් වනාහි දුකද නැවත දුක (ඉපදීමට) හෙතුවද දනිද්ද, යම් නිවනෙක්හි සර්වප්‍රකාරයෙන් සියලු දුක නිරුද්ධවේද දුක සංසිඳුවීමට පමුණුවන්නාවූ මාර්ගය දනිද්ද, චෙතො විමුක්තියෙන් යුක්තවූද නැවත ප්‍රඥා විමුක්තියෙන් යුක්තවූද ඒ සත්වයෝ සසර දුක් කෙළවර කිරීම පිණිස සුදුස්සෝ වෙත්; ඔව්හු ජාති ජරා දුක්වලට පැමිණෙන්නාහු නොවෙතියි.”