ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

4. චතුක්ක නිපාතය

6. තණ්හුප්පාද සූත්‍රය

“මහණෙනි, යම් නිමිතිවල භික්ෂුවගේ උපදින සුලුවූ තෘෂ්ණා තොමෝ උපදීද, ඒ තෘෂ්ණාව උපදින හෙතු සතරෙකි. කවර සතරක්ද යත්? මහණෙනි, සිවුරු හෙතුකොට හෝ මහණහුගේ උපදින සුලු තෘෂ්ණා තොමෝ උපදී. මහණෙනි, පිණ්ඩපාතය කරුණු කොට හෝ භික්ෂුවගේ උපදින සුලුවූ තෘෂ්ණා තොමෝ උපදී. මහණෙනි, සෙනසුන කරුණු කොට හෝ භික්ෂුවගේ උපදින සුලුවූ තෘෂ්ණා තොමෝ උපදී. ප්‍රණීත ගිතෙල් වෙඬරු ආදීන් හෙතුකොට හෝ භික්ෂුවගේ උපදින සුලුවූ තෘෂ්ණා තොමෝ උපදී. මහණෙනි, යම් නිමිතිවල භික්ෂුවගේ උපදින සුලුවූ තෘෂ්ණා තොමෝ උපදීද, මේ වනාහි ඒ තෘෂ්ණාවගේ උපදින කරුණු සතරෙකැයි”

මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි අර්ථය මෙසේ කියනු ලැබේ.

“තෘෂ්ණාව දෙවන්නාකොට ඇති පුරුෂතෙමේ බොහෝ කලක් මුළුල්ලෙහි සසර ඇවිදින්නේ මේ පවත්නා ආත්ම භාවයද අනාගතාත්ම භාවයද මෙවැනි නොවූ අනෙක් ආත්මභාව ඇති සසර නොඉක්මවයි.

“තෘෂ්ණාව දුකේ හටගැන්මයයි. මෙසේ දොෂය දැන පහවූ තෘෂ්ණාව ඇත්තාවූ (තෘෂ්ණාදීන්) ගැණීමක් නැත්තාවූ සිහිය ඇත්තාවූ රහත් මහණතෙමේ වසන්නේයයි.”