ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

4. චතුක්ක නිපාතය

7. සබ්‍රහ්මක කුල සූත්‍රය

“මහණෙනි, යම් කුලයන්ගේ දරුවන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙද්ද, ඒ කුලයෝ බ්‍රහ්මයා ඇති කුලයෝ වෙත්. මහණෙනි, යම් කුලයන්ගේ දරුවන් විසින් මවුපියෝ ස්වකීය ගෘහයෙහි පුදනලද්දාහු වෙද්ද, ඒ පූර්ව දෙවියන් සහිතවූ කුලයෝ වෙත්. මහණෙනි, යම් කුලවල දරුවන් විසින් මවුපියෝ ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙද්ද, ඒ පූර්වාචාර්යයන් ඇති කුලයෝ වෙත්. මහණෙනි, යම් කුලවල දරුවන් තමාගේ ගෘහයෙහි මවුපියෝ පුදන ලද්දාහු වෙද්ද, ඒ කුලයෝ සත්කාරයට සුදුස්සන් ඇත්තාහු වෙත්.

“මහණෙනි, බ්‍රහ්මයයි මවුපියනට නමෙකි. මහණෙනි, පූර්ව දෙවතාවෝ යයි මවුපියනට නමෙකි. මහණෙනි, පූර්වාචාර්යයෝ යයි මවුපියනට නමෙකි. මහණෙනි. (උපකාරයට කෙත් බැවින්) ආහුණෙය්‍යයෝයයි මවුපියනට (නියම) නමෙකි. ඊට හෙතු කවරේද? මහණෙනි, මවුපියෝ දරුවන්ට බොහෝ උපකාර ඇත්තෝ වෙත්. දිවි රක්නාහුය පොෂ්‍ය රක්නාහුය, මේ ලොකයෙහි දක්නාහුයයි.”

මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි අර්ථය මෙසේ කියනු ලැබේ.

“පුත්‍රයන්ට මවුපියෝ බ්‍රහ්මයෝ යයිද පළමු ගුරුවරයෝයයිද සත්කාරයට සුදුස්සෝයයිද සත්වයාට උපකාර කරන්නාහුයයිද කියනු ලැබෙත්. එහෙයින්ම නුවණැති පුත්‍රතෙමේ මව්පියන්ට නමස්කාරකරන්නේය නැවත සත්කාරද කරන්නේය.

“අහරයෙන්ද නැවත පානයෙන්ද වතින්ද යහනින්ද ඇඟ ඇලීමෙන්ද නැහැවීමෙන්ද පය සේදවීමෙන්ද මව්පියන් කෙරෙහි ඒ මෙහෙකිරීමෙන්ද පණ්ඩිතයෝ තුමූ ඔහුට මේ ලෙව්හිම පසසත්. පරලෙව්හි ස්වර්ගයෙහිද සතුටුවේයයි”