ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

4. චතුක්ක නිපාතය

10. නදීසොතොපම සූත්‍රය

“මහණෙනි, යම් සේ වනාහි පුරුෂයෙක් තෙමේ ගංගාවෙක්හි ප්‍රිය ස්වභාවය හා සැප ස්වභාවය කරණකොටගෙන වහා ගලාබස්නා සැඩ පහරින් යටි ගං බලාගෙන යනු ලැබේද, ඇස් ඇති පුරුෂයෙක් තෙමේ ඉවුරෙහි සිටියේ ඔහු දැක මෙසේ කියන්නේය. ‘එම්බා පුරුෂය, කිසිසේත් තෝප්‍රිය ස්වභාවය හා සැප ස්වභාවය හෙතුකොටගෙන නදියෙහි සැඩපහරින් ගෙනයනු ලබන්නෙහිය. එම්බල පුරුෂය තෝ යම් විලකට පැමිණ මරණයට හෝ මරණ සමාන දුකට හෝ පැමිණෙන්නෙහිද, මේ නදියගේ යට මහ රළ ඇත්තාවූ දියසුළි ඇත්තාවූ සැඩමසුන් ඇත්තාවූ දියරකුසන් සහිතවූ විලෙක් ඇත.”

“මහණෙනි, ඉක්බිති ඒ පුරුෂතෙමේ ඒ පුරුෂයාගේ හඬ අසා අතින් හා පයින්ද උඩුගං බලා පීණන්නේය. මහණෙනි, අර්ථය හඟවනු පිණිස මා විසින් මේ උපමාතොමෝ කරනලද මේ උපමාවෙහි මේ අර්ථයි.

“මහණෙනි, නදියෙහි මහවතුර යයි තෘෂ්ණාවට මේ නමෙකි. මහණෙනි, ප්‍රිය ස්වභාවය මිහිරි යයි අධ්‍යාත්මිකවූ සද්ධායතනයන්ට මේ නමෙකි. මහණෙනි, යට (මහ) විලයයි ඔරම්භාගිය සංයෝජනයන්ට මේ නමෙකි. මහණෙනි, භයජනක රළ යයි බලවත් ක්‍රොධයට මේ නමෙකි. මහණෙනි, දියසුළි යයි පස්කම් බැඳුමට මේ නමෙකි. මහණෙනි, චණ්ඩ මත්ස්‍යය ජලරාක්ෂසයයි ස්ත්‍රියට මේ නමෙකි. මහණෙනි, ප්‍රතිස්‍රොතය (උඩුගඟ) යයි නෛෂ්ක්‍රම්‍යයට මේ නමෙකි. මහණෙනි, අතින් හා පයින් වෑයම් කිරීම යයි සතර සම්‍යක් ප්‍රධාන වීර්යයට මේ නමෙකි. මහණෙනි, ඉවුරෙහි සිටි ඇස් ඇති පුරුෂයා යයි අර්හත්වූ සියලු දතයුතු ධර්මයන් මනාව දැනගත්තාවූ තථාගතයන් වහන්සේට මේ නමෙකි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“මත්තෙහි කාමයොගයෙන් නිර්භයවූ රහත්බව කැමැති වන්නාවූ මහණතෙම ක්ලේශකාමයන් දුකසේ පහකරන්නේය, විදර්ශනා සහිත මාර්ගප්‍රඥාවෙන් මනාකොට දන්නාවූ ආර්ය මාර්ගාධිගමයට අනතුරුව ඵල විමුක්තියෙන් මනාව මිදුනු සිත් ඇති (මහණතෙම) ඒ ඒ මාර්ගඵලයන්ට පැමිණෙන කාලයෙහි නිවනට ඇතුළත් ඵලසමවතින් වසන්නේය. මාර්ගඥානයෙන් චතුස්සත්‍යයන් දැනගත්තාවූ වැස නිමවනලද මගබඹසර ඇත්තාවූ ස්කන්ධලෝකයාගේ කෙළවරට ගියාවූ ඒ ක්ෂීණාශ්‍රව තෙමේ (සසර සයුරේ) පරතෙරවූ නිවණට ගියේයයි කියනු ලැබේ.”