ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

4. චතුක්ක නිපාතය

11. චරතොඋප්පජ්ජති සූත්‍රය

“මහණෙනි, ඉදින් හැසිරෙන්නාවූද මහණහට කාමය පිළිබඳ කල්පනාවක් හෝ ද්වෙෂය පිළිබඳ කල්පනාවක් හෝ වෙහෙස කිරීම පිළිබඳ කල්පනාවක් හෝ උපදීද, මහණෙනි, ඉදින් මහණතෙම ඒ විතර්කය ඉවසාද, පහනොකෙරේද, දුරුනොකෙරේද, පහනොවූ කෙළවර ඇත්තක් නොකෙරේද, නැවත නැවත අභාවයට නොපමුණුවාද,

“මහණෙනි, කෙළෙස් තවන වීර්යය නැත්තාවූ පාපයට භයනොවූ මෙබඳු මහණතෙම හැසිරෙන්නේද සියලු කල්හි අලසවූ ලාමක වීර්ය ඇත්තේයයි කියනු ලැබේ.

“මහණෙනි, සිටියාවූද මහණහට ඉදින් කාමවිතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ උපදීද, මහණෙනි, ඉදින් මහණතෙම ඒ විතර්කය ඉවසාද පහ නොකෙරේද, දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, නොවීමට නොපමුණුවාද, මහණෙනි, එබඳුවූ කෙළෙස් තවන වීර්යය නැත්තාවූ පවට බිය නැත්තාවූ භික්ෂුතෙමේ සිටියේද නිරන්තරයෙන් කුසීතවූ හීන වීර්ය ඇත්තේ යයි කියනු ලැබේ.

“මහණෙනි, හුන්නාවූද මහණහට කාම විතර්කයක් වේවායි ව්‍යාපාද විතර්කයක් වේවයි විහිංසා විතර්කයෙක් වේවයි ඉදින් උපදීද, මහණෙනි, මහණතෙම ඒ කල්පනාව ඉදින් ඉවසාද, පහනොකෙරේද, දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, නොවීමට නොපමුණුවාද, මහණෙනි, කෙලෙස් තවන වීර්යය නැත්තාවූ පවට බියනොවූ එබඳු මහණතෙමේ හුන්නේද නිතර අලසවූ ලාමක වීර්යය ඇත්තේයයි කියනු ලැබේ.

“මහණෙනි, හොවින්නාවූද, නිදි දුරුකරන්නාවූ මහණහට කාමය පිළිබඳ කල්පනාවෙක් වේවයි ක්‍රොධය පිළිබඳ කල්පනාවෙක් වේවයි වෙහෙස කිරීම පිළිබඳ කල්පනාවෙක් වේවයි ඉදින් උපදීද, මහණෙනි, මහණතෙම ඒ විතර්කය ඉදින් ඉවසාද, පහනොකෙරේද, (සිතින්) දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, අභාවයට නොපමුණුවාද, කෙලෙස් තවන වීර්යය නැත්තාවූ පවට බියනොවූ නිදි දුරුකරන්නාවූ එබඳු මහණතෙම සයනය කරන්නේද, හැමකල්හි අලසවූ හීන වීර්යය ඇත්තේයයි කියනු ලැබේ.

“මහණෙනි, හැසිරෙන්නාවූද, මහණහට කාම විතර්කයෙක් හෝ ව්‍යාපාද විතර්කයෙක් හෝ විහිංසා විතර්කයෙක් හෝ ඉදින් උපදීද, මහණෙනි, මහණතෙම ඒ කල්පනාව ඉදින් නොඉවසාද, පහකෙරේද, දුරුකෙරේද, අවසන් කෙරේද, නොවීමට පමුණුවාද, මහණෙනි, කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ පවට බියවූ එබඳු මහණතෙම හැසිරෙන්නේද, හැමදා පටන්ගන්නාලද වීර්යය ඇත්තාවූ නිවන් පිණිස යවනලද සිත් ඇත්තේයයි කියනු ලැබේ.

“මහණෙනි, සිටියාවූද මහණහට කාමය පිළිබඳ අදහසෙක් හෝ ක්‍රොධය පිළිබඳ අදහසෙක් හෝ (අනුන්ට) වෙහෙස කිරීම පිළිබඳ අදහසෙක් හෝ ඉදින් උපදීද, මහණෙනි, මහණතෙම ඒ කල්පනාව ඉදින් (සිතේ) වාසය නොකරවාද, පහනොකෙරේද, (සිතින්) දුරුකෙරේද, පහවූ කෙළවර ඇත්තෙක් කෙරේද, නොඉපදවීමට පමුණුවාද, මහණෙනි, කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ පවට බියවූ එබඳු මහණතෙම සිටියේද සදහටම පටන්ගන්නාලද වීර්යය ඇත්තේ නිවන් පිණිස මෙහෙයවනලද සිත් ඇත්තේයයි කියනු ලැබේ.

“මහණෙනි, හුන්නාවූද මහණහට කාමය හා යෙදුන කල්පනාවෙක් වේවයි. ක්‍රොධය හා යෙදුන විතර්කයෙක් වේවයි, (අනුන්ට) වෙහෙස කිරීම පිළිබඳ කල්පනාවෙක් වේවයි ඉදින් උපදීද, මහණෙනි, මහණතෙම ඉදින් ඒ කල්පනාව නොඉවසාද, පහකෙරේද, (සිතින්) දුරුකෙරේද, කෙළවර කෙරේද, නොවීමට පමුණුවාද, මහණෙනි, නිතර කෙළෙස් තවන වීර්යය ඇත්තාවූ පවට බියවූ එබඳු මහණ තෙම හුන්නේද පටන්ගන්නාලද වීර්යය ඇත්තේය. නිවන් පිණිස යවනලද සිත් ඇත්තේයයි කියනු ලැබේ.

“මහණෙනි, සැතපෙන්නාවූද, නිදි දුරුකරන්නාවූ මහණහට කාමයෙන් යුත් අදහසෙක් හෝ ක්‍රොධයෙන් යුත් අදහසෙක් හෝ (පරහට) වෙහෙස කිරීම පිළිබඳ අදහසෙක් හෝ ඉදින් උපදීද, මහණෙනි, මහණතෙම ඒ අදහස ඉදින් නො ඉවසාද, පහකෙරේද, (සිතින්) දුරුකෙරේද, අවසන්වූවක් කෙරේද, (නැවත) නොඉපදවීමට පමුණුවාද, මහණෙනි, නිතර කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ පවට බියවූ නිදි දුරුකරන්නාවූ එබඳු මහණතෙම සයනය කෙළේද, පටන්ගන්නාලද වීර්යය ඇත්තේය, නිවන් පිණිස මෙහෙයනලද සිතැත්තේයයි කියනු ලැබේ යයි.”

භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“යමෙක් හැසිරෙන්නේ හෝ ඉදින් සිටින්නේ හෝ හුන්නේ හෝ නැවත හෝනේ හෝ වස්තුකාමය ඇසුරු කළාවූ (නොහොත්) ක්ලේශකාමයන්ට වාසස්ථාන බැවින්ද ගෘහය ඇසුරුකළාවූ ලාමක විතර්කයක් කල්පනා කෙරේද, එබඳු මිථ්‍යා සංකල්පනාවන් ගොචරකොට ඇත්තාවූ ඒ මහණතෙම උතුම්වූ ආර්ය මාර්ග ඥානයට පැමිණෙන්නට නුසුදුස්සෙකි.

“යමෙක් හැසිරෙන්නේ හෝ නැවත සිටින්නේ හෝ හුන්නේ හෝ නැවත හෝනේ හෝ (යථොක්ත) මිථ්‍යා විතර්කය සන්සිඳුවා (නවමහා විතර්කයන්ගේ අතිශයින් සන්සිඳීම වූ අර්හත් ඵලයෙහි වේවයි, නිර්වාණයෙහි වේවයි ඇලුනේවේද, එබඳු ඒ පුද්ගලතෙමේ උතුම්වූ ආර්ය මාර්ගඥානය බලන්නට සමර්ථ වේයයි.”