ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

4. චතුක්ක නිපාතය

12. යතංචර සූත්‍රය

“මහණෙනි, ශීලයෙන් යුක්තව වසවු, සම්පූර්ණ ප්‍රාතිමොක්ෂසංවරයෙන් වැසුනෝව වසවු, ගොචර සම්පත්තියෙන් යුක්තව ශික්ෂාපදයන්හි මනාවගෙන ස්වල්පත්‍රමාණවූ වරදෙහි පවා භයදක්නා ස්වභාවය ඇත්තෝව හික්මෙවු, මහණෙනි, සම්පූර්ණශීලය ඇතිව වසන්නවුන් විසින් සම්පූර්ණ ප්‍රාතිමොක්ෂ සංවරයෙන් වැසිවසන්නවුන් විසින් ආචාර ගොචර දෙකින් යුක්තව ශික්ෂාපදයන්හි මනාවගෙන ස්වල්පමාත්‍ර දොෂයෙහි පවා භයදක්නා සුලුව හික්මෙන්නවුන් විසින් මත්තෙහි කටයුතු කුමක් වන්නේද?

“මහණෙනි, ඉදින් හැසිරෙන්නාවූද (එබඳු) මහණහුගේ විෂම ලොභය පහවගියාවෙයි, ක්‍රොධය පහව ගියේවෙයි, චිත්ත චෛතසිකයන්ගේ ප්‍රබොධ නොවීම පහව ගියේවෙයි, සිතේ නොසන්සුන් බව හා විපිළිසරවීම පහව ගියේවෙයි, සැකය ප්‍රහීනවෙයි. වීර්යය පටන් ගන්නාලද්දේ වෙයි. නොහැකුළුණේවෙයි, සිහිය එළඹ සිටියාවෙයි. මුළා නොවූවාවෙයි, කය සන්සිඳුණේවෙයි, පහවගිය විඩා ඇත්තේ වෙයි, සිතමනාව පිහිටුවන ලද්දේවෙයි, එකඟ වූයේ වෙයි, මහණෙනි, හැසිරෙන්නාවූද එබඳු මහණතෙම කෙළෙස් තවන වීර්යය ඇත්තේය, පවට බිය ඇත්තේය, නිරන්තරයෙන් පටන් ගන්නාලද වීර්යය ඇත්තේය, නිවන් පිණිස යවන ලද සිත් ඇත්තේයයි කියනු ලැබේ.

“මහණෙනි, ඉදින් සිටියාවූද (එබඳු) මහණහුගේ විෂම ලොභය පහවූවාවෙයි, ව්‍යපාදය පහවූයේවෙයි. ථීනමිද්ධ නීවරණය පහවූයේවෙයි, උද්ධච්චකුක්කුච්ච නීවරණය පහවූයේවෙයි, විචිකිච්ඡා නීවරණය පහවූවාවෙයි. වීර්යය පටන්ගන්නා ලද්දේවෙයි. නොසැඟවුනේවෙයි. සිහිය එළඹ සිටියාවෙයි. නොමුළාවූවාවෙයි, කය සන්සිඳුණේවෙයි, බර ඇරුණේ වෙයි, සිතමනාව සිටියේවෙයි, එකඟවූයේවෙයි, මහණෙනි, සිටියාවූද එබඳු මහණතෙමේ කෙළෙස් තවන වීර්යය ඇත්තේය, පවට බිය ඇත්තේය නිතරම පටන්ගන්නාලද වීර්යය ඇත්තේයයි නිවන් පිණිස මෙහෙයනලද සිත් ඇත්තේයයි කියනු ලැබේ.

“මහණෙනි, ඉදින් හුන්නාවූද (එබඳු) මහණහුගේ විෂම ලොභය පහවූයේවෙයි, ව්‍යාපාදය පහවූයේවෙයි, ථිනමිද්ධ දෙක පහවූයේවෙයි, උද්ධච්චකුක්කුච්චය පහවූයේ වෙයි, සැකය පහවූවාවෙයි, වීර්යය පටන්ගන්නා ලද්දේවෙයි, (එහෙයින්ම) නොහැකුළුණේවෙයි, සිහිය එළඹ සිටියාවෙයි, නොමුළාවෙයි, කය සන්සිඳුනේවෙයි, බර ඇරුණේවෙයි, සිතමනාව සිටියේවෙයි. එකඟවූයේ වෙයි, මහණෙනි, හුන්නාවූද එබඳු මහණතෙමේ කෙළෙස් තවන වීර්යය ඇත්තේය, පවට බිය ඇත්තේය, හැමකල්හි පටන් ගන්නා ලද වීර්යය ඇත්තේය, නිවන් පිණිස මෙහෙයනලද සිත් ඇත්තේයයි කියනු ලැබේ.

“මහණෙනි, ඉදින් සයනය කරන්නාවූද නිදි දුරු කරන්නාවූද එබඳු මහණහුගේ විෂම ලොභය පහවූයේ වෙයි. ක්‍රොධය පහවූයේ වෙයි ථිනමිද්ධ දෙක පහවූයේ වෙයි. උදහස හා කුකුසද පහවූයේ වෙයි. සැකය ප්‍රහීනවූවා වෙයි. වීර්යය පටන්ගන්නා ලද්දේ වෙයි. නොසැඟවුණේ වෙයි. සිහිය එළඹ සිටියා වෙයි. නොමුළා වෙයි. කය සන්සිඳුනේ වෙයි. බර ඇරුණේ වෙයි. සිත මනාව පිහිටියේ වෙයි. එකඟවූයේ වෙයි මහණෙනි, හොවින්නාවූද නිදි දුරුකරන්නාවූ එබඳු මහණ තෙම කෙලෙස් තවන වීර්යය ඇත්තේය. පවට බිය ඇත්තේය. සදහටම පටන්ගන්නා ලද වීර්ය ඇත්තේය. නිවන් පිණිස මෙහෙයනලද සිත් ඇත්තේයයි කියනු ලැබේ.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“මහණෙතෙම ගටමින් හැසිරෙන්නේය. වීර්යය කරමින් සිටින්නේය. වෑයම් කරමින් හිඳින්නේය. වෑයම් කරමින් හොවින්නේය. වෑයම් කරමින් (අත්පා) හකුළුවන්නේය. වෑයම් කරමින් (අත්පා) දිගුකරන්නේය.

“උඩද සරසද යටද සත්ව ශුන්‍යවූ පඤ්චස්කන්ධයන්ගේ හටගැන්ම හා විනාශයද බලන්නේ වන්නේය. “මෙසේ වසන සුලුවූ කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ සන්සුන් පැවතුම් ඇත්තාවූ සන්සිඳුණු සිත් ඇත්තාවූ චෙතො සමථයයි කියන ලද ආර්ය මාර්ගයට සුදුසු ප්‍රතිඥාවට හික්මෙන්නාවූ, හැමකල්හි සිහි ඇත්තාවූ එබඳු මහණ නිතර නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇත්තේයයි (ආර්යයෝ) කියතියි.”