ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

1. එකක නිපාතය

3. චිත්ත වර්ගය

6. දාන සූත්‍රය

“මහණෙනි, මම යම් ප්‍රකාරයකින් දාන සංවිභාගයාගේ විපාකය එපරිද්දෙන් සත්වයෝ ඉදින් දන්නාහු නම් නොදී අනුභව නොකරන්නාහුය. ඔවුන්ගේ මසුරු මලද (නොහොත්) මසුරු බව හා දානයට අන්තරාය කරන්නාවූ ඊර්ෂ්‍යා (ලොභ ද්වෙෂාදී ක්ලෙශමලද සිත මැඩ නොම සිටින්නේය, ඔවුන්ගේ (සියල්ලට) පසුවූ ආලොපයෙක් අන්තිම බත් පිඬෙක් වන්නේද, ඉනිදු බෙදා නොදී අනුභව නොකරන්නාහුය,

“ඉදින් ඔවුනට ප්‍රතිග්‍රාහකයෝ වන්නාහුනම් (දෙත්මය)

“මහණෙනි, යම් හෙයකින් වනාහි යම්සේ මම දාන සංවිභාගයාගේ විපාකය දනිම්ද එපරිද්දෙන් සත්වයෝ නොදනිද්ද, එහෙයින් නොදී අනුභව කරති, මසුරු මලද ඔවුන්ගේ සිත මැඩගෙන සිටීයයි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“මහර්ෂීවූ බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද පරිද්දෙන් යම්සේ මහත් විපාක ඇත්තේ වේද, ඉදින් එසේ සත්වයෝ දාන සංවිභාගයාගේ විපාකය දන්නාහු නම්.

“විශෙෂයෙන් ප්‍රසන්නවූ සිතින් (ඔහු) මසුරු මල දුරු කරන්නාහුය, යම් කෙනෙකුන්ට දෙන ලද්ද මහත් ඵල වේද, (ඒ) ආර්යයන්ට සුදුසු කාලයෙහි දෙන්නාහුය.

“බොහෝ ජනයාහට ආහාරද බොහෝ ආහාරද දක්ෂිණාව පිළිගන්නට සුදුසු ආර්යයන්ටදී මේ මිනිසත් බැවින් චුතවූ දායකයෝ ස්වර්ගයට යෙත්.

“මසුරු නොවූ ඔව්හුද දෙව්ලොවට ගියාහු එහි (සියලු) කාමසම්පත්තියෙන් යුක්තවූවාහු සතුටු වෙත් යයි.”