ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

2. දුක නිපාතය

1. සංවෙජනීය වර්ගය

7. අනාතාපී සූත්‍රය

“මහණෙනි, කුසීතවූ පාපයට භය නැත්තාවූ මහණතෙමේ ආර්ය මාර්ගය පිණිස සුදුස්සෙක් නොවේ. නිවන පිණිස සුදුස්සෙක් නොවේ. නිරුත්තරවූ (සතර) යොගයන්ගෙන් නිර්භයවූ අර්හත්ඵලය ලැබීමට සුදුස්සෙක් නොවේ.

“මහණෙනි, කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ (පාපයට) භය ඇත්තාවූ මහණ තෙමේ වනාහි ආර්ය මාර්ගය පිණිස සුදුසුවේ. නිර්වානය පිණිස සුදුසුවේ. ශ්‍රෙෂ්ඨවූ (සතර) යොගයන්ගෙන් නිර්භයවූ රහත්බව ලැබීමට සුදුසුවේයයි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“යම් මහණෙක්තෙම කෙලෙස් තවනවීර්ය නැත්තේවේද, පවට බිය නැත්තේවේද, කුසීතවේද, ගිලිහුණේවේද, හීනවූවීර්ය ඇත්තේවේද, (සිතේ අලස බවවූ) ථීනයද (කයේ අලස බවවූ) මිද්ධයද බහුල කොට ඇත්තේවේද, වැඩට නොයෙදෙන බව බහුලකොට ඇත්තේවේද, පව්කිරීමෙහි ලජ්ජා නැත්තේවේද, ආදර නැත්තේවේද, එබඳු මහණතෙම උතුම්වූ රහත්බවට පැමිණෙන්නට නුසුදුස්සෙක් වේ. “යමෙක් තෙමේ වනාහි සිහි ඇත්තේවේද, සිහි නුවණින් හා කමටහන් පරිහරණය කරන මුහුකුරා ගිය නුවණින්ද යුක්තවූයේවේද, ධ්‍යාන කරන සුලුවේද, කෙලෙස් තවන වීර්ය ඇත්තේවේද, පාපයට භය ඇත්තේවේද, අප්‍රමාදයෙන් යුක්තවේද, ජාතිය හා ජරාව සමගද දසසංයොජනය මේ අත්බවෙහිම සිඳ නිරුත්තරවූ අර්හත්ඵලයට පැමිණේයයි.”