ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

2. දුක නිපාතය

2. ජාගරිය වර්ගය

1. තථාගත විතක්ක සූත්‍රය

“මහණෙනි, අර්හත්වූ සියලු දතයුතු ධර්මයන් මනාව අවබොධ කළාවූ තථාගතයන් වහන්සේගේ (සම්‍යක්) විතර්ක දෙකක් සීමාව නොඉක්මවමින් පවතිත්. කවර දෙකක්ද යත්, ක්ෂේම විතර්කයද පවිවෙක විතර්කයද යන දෙකයි. මහණෙනි, තථාගතයන් වහන්සේ (සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී විහරණ කරුණා විහරණ දෙක්හි ඇලීම ඇතිසේක. අව්‍යාපාදයෙහි නිතර ඇලුණුසේක.

“මම මේ ක්‍රියාවෙන් චඤ්චල වන්නාවූ හෝ නොසැලෙන්නාවූ හෝ කිසි සත්වයෙකු නොපෙළමි. (යන) මේ කල්පනාවම අව්‍යාපාදයෙහි ඇලීම ඇත්තාවූ නිදුක් බවෙහි ඇලුනාවූ ඒ තථාගතයන් වහන්සේගේ බහුලව පවතී.

“මහණෙනි, තථාගතයන් වහන්සේ අතිශය විවෙකයෙහි ඇලීම ඇතිසේක. උතුම් විවේකයෙහි ඇලුණුසේක. ඒ උතුම් විවෙකයෙහි ඇලුම් ඇත්තාවූ අතිශය විවේකයෙහි ඇලුනාවූ තථාගතයන් වහන්සේගේ යම් අකුශලයක්වීද, ඒ සියලු අකුසල් ප්‍රහීනවීය. (එහෙයින්) මේ අතිශය විවේක විතර්කයම බහුලව පවතී.

“එහෙයින් මහණෙනි, තෙපිද නිදුක් බවෙහි ඇලීම ඇත්තෝව අව්‍යපාදයෙහි ඇලුනෝම වසවු, “අපි මේ ක්‍රියාවෙන් තස නම් වූද තහවුරුවූද (රහත්වූද) කිසිසතෙකු නොවෙහෙසමි.” අව්‍යාපාදයෙහි ඇලුම් ඇත්තාවූ නිදුක් බවෙහි ඇලුනාවූ ඒ තොපගේද මේ උතුම් විවේකයම බහුලව පවතින්නේය.

“මහණෙනි, උතුම් විවේකයෙහි ඇලුම් ඇත්තෝව උතුම් විවේකයෙහි ඇලුනේව වසවු, කුමක් අකුසල්ද, කුමක් ප්‍රහීන නොවීද, කුමක් පහකරමුදැයි, අතිශය විවේකයෙහි ඇලුම් ඇත්තාවූ ප්‍රකර්ෂවිවේකයෙහි ඇලුනාවූ ඒ තොපගේ මේ ප්‍රකර්ෂවිවේකය පිළිබඳ කල්පනාවම බහුලව පවතින්නේයයි.

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“අවබොධ කළාවූ (අන්‍යයන් විසින් නොඉසිලිය හැකි බුදුවරයන් විසින්ම කළයුතු දේ උසුලනසුලුවූ ඒ තථාගතයන් වහන්සේගේ කල්පනාවෝ දෙදෙනෙක් පවතිත්, නිර්භයවූ කල්පනාව පළමු වදාරන ලද්දේය. ඉන් අනතුරුව අතිශය විවේකය දෙවනුව ප්‍රකාශ කරන ලද්දේය.

“මොහාන්ධකාරය දුරුකරන්නාවූ නිවනට පැමිණියාවූ (නොහොත්) ප්‍රාර්ථනාවගේ හෝ සියලු සසරදුකේ හෝ සර්වඥ ගුණයන්ගේ හෝ කෙළවරට ගියාවූ මහර්ෂීවූ පැමිණියයුතු සියල්ලට පැමිණියාවූ වසීභාවයද ඇත්තාවූ (කාමාදි) ආශ්‍රව නැත්තාවූ (කාය විෂමාදී) විෂම වචනයකළාවූ වෙසෙසින් මිදුනාවූ මොන නම් ඥානයෙන් හෝ කායමොනෙය්‍යාදි ප්‍රතිපදාවෙන් අතිශයින් යුක්තවූ අන්තිම ශරීරය දරන්නාවූ පස්මරුන් පහකළාවූ ජරාවගේ එතෙරට ගියාවූ ඒ තථාගතයන් වහන්සේගේයයි කියමි.

යම්සේ ශෛල පර්වතයක් මුදුනෙහි සිටියෙක් සිටිවනම අවට ජනසමූහයා දක්නේද, ඒ ශෛල පර්වතය බඳු දහමින් කළ පහයට නැගී පහවූ ශොක ඇත්තාවූ සොඳුරු නුවණ ඇත්තාවූ සමතැස් ඇති භාග්‍යවතුන් වහන්සේ ශොකයෙන් ගැවසීගත් ජාතිජරාවන් විසින් මඩනා ලද්දාවූ ජනසමූහයා දක්නාසේකැයි.”