ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

2. දුක නිපාතය

2. ජාගරිය වර්ගය

5. සුක්කධම්ම සූත්‍රය

“මහණෙනි, මේ ශුක්ලධර්මයෝ දෙදෙනෙක් සත්ව ලොකය රකිත්. කවර දෙදෙනෙක්ද යත්? පවට ලජ්ජාවද පවට භයද (යන දෙකය.)

“මහණෙනි, මේ කුසල් දහම් දෙක මේ ලොව නොරක්නාහු නම් මේ සත්ව ලොකයෙහි මවයයි කියා හෝ කුඩා මව යයි කියා හෝ නැන්දනියයි කියා හෝ ආචාර්යයන්ගේ භාර්යාවයයි කියා හෝ ගරුකටයුත්තන්ගේ බිරියයි කියා හෝ නොපෙණෙන්නේය. එළු තිරෙළුවෝද කුකුළු ඌරෝද බලු සිවල්ලුද යම්සේද ලෝවැස්සා (එපරිද්දෙන්) සංකරයට සීමා භෙදයට හෝ පැමිණෙන්නේය.

“මහණෙනි, යම් හෙතුවකින් වනාහි මේ අනවද්‍ය ධර්මයෝ දෙදෙන ලොව රකිද්ද, එහෙයින් මවයයි කියාද කුඩා මවයයි කියාද නැන්දනීයයි කියාද ඇදුරු බිරියයයි කියාද ගරුකටයුත්තන්ගේ අඹුවයයි කියාද, පෙණෙන්නේ යයි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අරුත මෙසේ කියනු ලැබේ.

“යම් සත්වයන්ගේ හිරිඔතප් දෙක හැමදාම නොලැබේද, කුසල් මුලින් ඉවත්වූ ඒ සත්වයෝ ජාති මරණයන්ට පැමිණෙන්නාහුය.

“යම් සත්වයන්ගේ වනාහි හැමකල්හි හිරිඔතප් දෙක මනාව එළඹ සිටියාහුද, වැඩුණු ශාසන මාර්ග බ්‍රහ්මචරිය ඇත්තාහු වෙද්ද, සත්පුරුෂවූ (ඔහු) ක්ෂයවූ නැවත ඉපදීම ඇත්තෝ වෙත්යයි.”