ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

2. දුක නිපාතය

2. ජාගරිය වර්ගය

6. අජාතභූත සූත්‍රය

“මහණෙනි, නොඋපන්නාවූ පහළනොවූ නොකරන ලද්දාවූ නිවන ඇත.

“මහණෙනි, ඉදින් නොඋපන්නාවූ පහළ නොවූ නොකරන ලද්දාවූ සකස් නොකරන ලද්දාවූ ඒ නිවන නොවීනම් මේලොකයෙහි උපන් පහළවූ කරන ලද්දාවූ සංස්කරනය කරන ලද්දාවූ ස්කන්ධ පඤ්චකයාගේ නිස්සරණයෙන් නොපෙණෙන්නේය. මහණෙනි, යම්හෙයකින් වනාහි නොඋපන් පහළ නොවූ නොකරන ලද්දාවූ පිළියෙල නොකරන ලද්දාවූ නිවන විද්‍යමාන වේද, එහෙයින් උපන්නාවූ පහළවූ කරන ලද්දාවූ සකස් කරන ලද්දාවූ, පඤ්චස්කන්ධයාගේ නිස්සරණය සංසිඳීම පෙණේයයි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“උපන්නාවූ ප්‍රත්‍යයන් කරන ලද්දාවූ ස්ථිර නොවූ ජරා මරණයෙන් පෙළෙන ලද්දාවූ ගැටුණු රොගයන්ට කැදැල්ලක් බඳුවූ නැසෙනසුලුවූ ආහාරය හා තෘෂ්ණාවද ප්‍රභවකොට ඇත්තාවූ ඒ පඤ්චුපාදානස්කන්ධය (දෘෂ්ටීන්) සතුටු වන්නට සුදුසු නොවේ.

“ඒ සත්කායයාගේ නැතිකිරීමවූ ශාන්තවූ තර්කඥානයට ගොචර නොවූ ස්ථිරවූ නොඋපන්නාවූ පහළ නොවූ ශොක නැත්තාවූ පහවූ කෙලෙස් රජස් ඇත්තාවූ පිළිපැදිය යුතුවූ දුඃඛ ධර්මයන්ගේ නිරොධයවූ සංස්කාරයන්ගේ සංසිඳීමවූ සැපයවූ නිවන ඇත.”