ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

2. දුක නිපාතය

2. ජාගරිය වර්ගය

7. නිබ්බානධාතුමය සූත්‍රය

“මහණෙනි, මේ නිර්වාණ ධාතූහු දෙදෙනෙක් වෙත්. කවර දෙකක්දයත්? සවුපාදිශෙෂ නිර්වාණ ධාතුවය, අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවය (පඤ්චස්කන්ධයශෙෂ නොවූ නිර්වාණධාතුවය යන දෙකය.)

“මහණෙනි, සවුපාදිශෙෂ නිර්වාණධාතුතොමෝ කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ක්ලෙශයන්ගෙන් දුරුවූයේ වේද, ක්ෂය කරනලද ආශ්‍රවයන් ඇත්තේවේද, නිමවූ විසීම ඇත්තේවේද, කරනලද කටයුතු ඇත්තේවේද, බහා තබනලද තුන්බර ඇත්තේවේද, පැමිණි ස්වකීය අර්ථය ඇත්තේවේද, ක්ෂයවූ භව සංයෝජනයන් ඇත්තේවේද, මනාකොට දැන ක්ලේශයන්ගෙන් මිදුනේවෙද, ඒ රහත්හුගේ පඤ්චෙන්ද්‍රියයෝ සිටිත්මය. යම් ඉඳුරන්ගේ මනවඩන්නාවූද මන නොවඩන්නාවූද, රූපාදි ගෝචරය විඳී, (ලබයි.) (විපාකය) සුවදුක් විඳියි ඔහුගේ රාගය ක්ෂය වීය. ද්වෙෂය ක්ෂයවිය, මෝහය ක්ෂයවීය. මහණෙනි මේ සවුපාදිශෙෂ නිර්වාණධාතු යයි කියනු ලැබේ.

“මහණෙනි, අනුපාදිශෙෂ නිර්වාණධාතු තොමෝ කවරීද? මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම රහත්වේද, ක්ෂයවූ ආශ්‍රවයන් ඇත්තේ වේද, නිමවූ බඹසර විසීම ඇත්තේ වේද, කරනලද කටයුතු ඇත්තේවේද, බහා තබනලද බර ඇත්තේවේද? පැමිණි ස්වකීය අර්ථ ඇත්තේවේද, ක්ෂය කරන ලද භවයංයෝජනයන් ඇත්තේවේද, මනාව දැන මිදුණේවේද, මහණෙනි, ඒ භික්ෂුවගේ වේදනාවෝ සතුටු නොවන ලද්දාහු සංස්කාර සමථයන්ගේ සංසිඳීමෙන්ද සිහිල් වන්නාහුය. මහණෙනි, මෝ අනුපාදිශෙෂ නිර්වාණධාතුයයි කියනු ලැබේ.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“ඇසුරු නොකළාවූ රාගාදිබන්ධනයෙන් නොබැඳුණාවූ එක ස්වභාව ඇත්තාවූ පසැස් ඇත්තාවූ බුදුන් වහන්සේ විසින් මේ නිර්වාණ ධාතුදෙකෙක් ප්‍රකාශ කරනලද්දාහුය. (ඔවුනතුරින්) මේලොකයෙහි මේ ආත්ම බවෙහිවූ (වර්තමානවූ) තෘෂ්ණාව ක්ෂයවූ එක් නිර්වාණ ධාතුවක් වනාහි සඋපාදිශෙෂ නිර්වාණධාතු නම් වේ.

“යම් අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙක්හි සර්වප්‍රකාරයෙන් ඉපදීම භවයෝ නොපවතිද්ද, යම් ආර්ය කෙනෙක් ප්‍රත්‍යයන් විසින් නොකරනලද්දාවූ පැමිණෙන ලද්දාවූ මේ නිවන දැන තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් (කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇත්තාහුවෙද්ද, ඒ ආර්යයෝ ධර්මයන්හි සාරයවූ රහත් බව ලැබීමෙන් නිර්වාණයෙහි ඇලුනාහු නොසැලෙන්නාහු සියලු භවයන් පහකළහ. ඉන් ඔබ්බෙහි අනුපාදිශෙෂ නිර්වාණධාතුව නමි.”