ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

2. දුක නිපාතය

2. ජාගරිය වර්ගය

9. ශික්ෂානිසංස සූත්‍රය

“මහණෙනි, ත්‍රිවිධ ශික්ෂාවන්ගේ අනුසස් ඇත්තෝව ප්‍රඥාව උතුම්කොට ඇත්තෝව විමුක්ති සාරය ඇත්තෝව සිහිය අධිපතිකොට ඇත්තෝව වසවු.

“මහණෙනි, ශික්ෂාවන් අනුසස්කොට ඇතිව ප්‍රඥාව ප්‍රධානකොට ඇතිව විමුක්ති සාරය ඇතිව සිහිය අධිපති කොට ඇතිව වසන්නවුන්ට මේ ආත්මභාවයෙහිම අර්හත්ඵලය හෝ ක්ලේශොපාදිශෙෂය පහකරන්ට නොහැකි නුවණ ඇති කල්හි අනාගාමි ඵලය හෝ එක්තරා ඵලයක් කැමැතිවිය යුතුයයි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“සම්පූර්ණවූ ශික්ෂාව ඇත්තාවූ නොකිපුණු (නොපිරිහුණු) ධර්ම ඇත්තාවූ ප්‍රඥාව ශ්‍රෙෂ්ඨකොට ඇත්තාවූ ජාතියගේ ක්ෂයවූ නිවන (නොහොත්) ඉපදීම හා මරණයගේ ක්ෂයවූ නිවණ දක්නාසුලුවූ අවසන් සිරුර දරන්නාවූ මානය පහකළාවූ ජරාවගේ කෙළවරවූ නිවණට පැමිණියාවූ ඒ රහත්හු ඒකාන්තයෙන් මුනි යයි කියමි.

“එහෙයින් මහණෙනි, සදහටම ධ්‍යානයෙහි ඇලුනාහු සමාධියෙන් යුක්තවූවාහු කෙලෙස් තවන වීර්ය ඇත්තාහු ජාතියගේ ක්ෂයවූ නිවන දක්නාසුලු වූවාහු සෙනාව සහිතවූ (සතර) මරහුම මැඩ ජාති මරණයාගේ එතෙරට ගියාහුවමු යයි”