ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

3. තික නිපාතය

1. මාරධෙය්‍ය වර්ගය

4. දට්ඨබ්බ වෙදනා සූත්‍රය

“මහණෙනි, මේ වෙදනා තුනක් වෙත්. කවර තුනක්ද යත්? සැප වෙදනාවය, දුක් වෙදනාවය, උපෙක්ෂා වෙදනාවය. මහණෙනි, සැප වෙදනා තොමෝ දුක් වශයෙන් දතයුත්තීය. දුක් වෙදනා තොමෝ උලයයි දතයුත්තීය. උපෙක්ෂා වෙදනා තොමෝ අනිත්‍ය වශයෙන් දතයුත්තීය.

“මහණෙනි, යම් කලෙක්හි හෝ යම්හෙයකින් මහණහු විසින් සැප වෙදනා තොමෝ දුක් වශයෙන් දක්නා ලද්දී වේද, දුක් වේදනා තොමෝ උල් වශයෙන් දක්නාලද්දී වේද, උපෙක්ෂා වේදනා තොමෝ අනිත්‍ය වශයෙන් දක්නා ලද්දී වේද, මහණෙනි, මේ මහණතෙමේ (කෙලෙසුන්ගෙන්) දුරුව සිටියේය. මනාකොට දක්නාසුලුය, තෘෂ්ණාව සින්දේය. සංයෝජනය මුල් නැත්තක් කෙළේය. මානයාගේ දැකීමෙන්ද දුරුකිරීමෙන්ද සංසාර දුඃඛය කෙළවර කෙළේ යයි කියනු ලැබේ යයි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“යම් ආර්ය ශ්‍රාවකයෙක් සුඛ වේදනාව දුක් වශයෙන් දිටීද, දුක්ඛ වේදනාව උල්වශයෙන් දිටීද, ශාන්තවූ ඒ උපෙක්ෂා වෙදනාව අනිත්‍ය වශයෙන් දිටීද,

“යම් හෙයකින් ඒකාන්තයෙන් මනාකොට දක්නා සුලුවූ ඒ මහණතෙමේ ඒ වේදනාවෙහි මිදේද, ඉර්ධි විධාදී අභිඥාසයින් අවසන් කළාවූ සන්සිඳවූ ඒ මුනිතෙමේ ඒකාන්තයෙන් යොගයන් ඉක්මවූයේයයි”