ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

3. තික නිපාතය

3. දිට්ඨ වර්ගය

1. දිට්ඨ දුග්ගති සූත්‍රය

“මහණෙනි, මා විසින් කාය දුශ්චරිතයෙන් යුක්තවූද වාග් දුශ්චරිතයෙන් යුක්ත වූද මනො දුශ්චරිතයෙන් යුක්තවූද ආක්‍රොශ කළාවූද මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූද (වරදවා දක්නාවූද මිථ්‍යා දර්ශන හෙතුවෙන් සමාදන් වන ලද නොඑක් කර්මයන් ඇත්තාවූද සත්වයෝ දක්නා ලද්දාහුය, ඒ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණයෙන් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිහිටවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය, “මහණෙනි, මා විසින් කයින් දුශ්චරිත කිරීමෙන් යුක්තවූද වචනයෙන් දුශ්චරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද, සිතින් දුශ්චරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද, ආර්යයන්ට උපවාද කළාවූද, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්තවූද, මිථ්‍යාදෘෂ්ටීන් ගන්නා ලද නොඑක් කර්මයන් ඇත්තාවූද සත්වයෝ දක්නා ලද්දාහුය, ඒ සත්වයෝ කය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිහිටවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහු”ය යන ඒ කීම වනාහි අන්‍ය ශ්‍රමණයෙකුගේ හෝ බමුණෙකුගේ හෝ බස් අසා මම නොම කියමි.

“තවද මහණෙනි, කාය දුශ්චරිතයෙන් යුක්තවූද වාග් දුශ්චරිතයෙන් යුක්තවූද, මනො දුශ්චරිතයෙන් යුක්ත වූද, ආර්යයන්ට ගර්හාකළාවූද, විපරීත දර්ශනයෙන් යුක්තවූද මිථ්‍යාදෘෂ්ටි කර්මයන් සමාදාන කොට ඇත්තාවූද සත්වයෝ මා විසින් දක්නා ලද්දාහුය. මහණෙනි, ඒ සත්වයෝ කය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ දුකට පිහිටවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුයයි මහණෙනි, යමක්ම තමා විසින් දන්නාලද්දේද තමා විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්‍රකට කොට දන්නා ලද්දේද, එයම මම කියමියි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“මේ ලොකයෙහි පුද්ගලතෙමේ සිත වරදවා පිහිටුවා මිථ්‍යා වචන කියා කයින් වැරදි කර්මයන් කොට (හැසුරුණේද)

“මේ මිනිස් ලොව ස්වල්ප ජීවිතය ඇතිකල්හි ද තොරවූ පව් කරන්නාවූ ඒ නුවණ නැති පුද්ගල තෙමේ කය බිඳීමෙන් පසු නරකයට (උත්පත්ති වශයෙන්) පැමිණේයයි.”