ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

3. තික නිපාතය

3. දිට්ඨ වර්ගය

5. පුත්තත්තය සූත්‍රය

“මහණෙනි, ලොකයෙහි මේ සූත්‍රයෝ තුන්දෙනෙක් ලැබෙන්නාහුය, විද්‍යමාන වන්නාහුය, කවර තුන්දෙනෙක්ද යත්? (තමාගේ ගුණයෙන් මවුපියන් ඉක්මවා) උපන්නාවූ (මවුපියනට වඩා ගුණ ඇති) පුත්‍රයාය (ගුණයෙන් මවුපියනට අනුරූපව) උපන්නාවූ (මව්පියන් හා සමාන ගුණ ඇති) පුත්‍රයාය මව්පියනට වඩා හීනගුණ ඇති පුත්‍රයාය යන තිදෙනය.

“මහණෙනි, කෙසේ වනාහි පුත්‍රතෙමේ අධික ගුණ ඇත්තේ වේද? මහණෙනි, මේ ලොකයෙහි පුතාගේ මවුපියෝ බුදුන් සරණ නොගියාහු වෙද්ද, දහම් සරණ නොගියාහු වෙද්ද, සඟ සරණ නොගියාහු වෙද්ද, ප්‍රාණඝාතයෙන් නොවැළකුණාහු වෙද්ද, (හිමියන් විසින්) නුදුන් දැය ගැණීමෙන් නොවැළකුණාහුද වෙද්ද, කාමයන්හි වරදවා හැසිරීමෙන් නොවැළකුණාහු වෙද්ද, බොරුකීමෙන් නොවැළකුණාහු වෙද්ද, මදප්‍රමාදයට කරුණුවූ රහමෙර පීමෙන් නොවැළකුණාහු වෙද්ද, සිල් නැත්තාහු වෙද්ද, ලාමක ස්වභාවය ඇත්තෝ වෙද්ද, ඔවුන්ගේ පුතා වනාහි බුදුන්සරණ ගියේ වේද, දහම් සරණ ගියේ වේද, සඟ සරණ ගියේ වේද, ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ වේද, හොරකම් කිරීමෙන් වෙන්වූයේ වේද, කාම මිථ්‍යාචාරයෙන් වෙන්වූයේ වේද, මුසාවාදයෙන් වෙන්වූයේ වේද, මත්වීමට හා ප්‍රමාදයට හෙතුවූ රහමෙරපීමෙන් වෙන්වූයේ වේද, සිල්වත්වේද, යහපත් ස්වභාවය ඇත්තේ වේද, මහණෙනි මෙසේ වනාහී පුත්‍රතෙමේ (මවු පියනට වඩා) අධික ගුණ ඇත්තේ (අතිජාතපුත්‍ර) වේ.

“මහණෙනි, කෙසේ වනාහි පුත්‍රතෙමේ (මවුපියන් අනුරූපව උපන් හා සමාන ගුණ ඇත්තේවේද, මහණෙනි, මේ ලොකයෙහි පුත්‍රයාගේ මවුපියෝ බුදුන් සරණ ගියෝවෙද්ද, දහම් සරණ ගියෝවෙද්ද, සඟ සරණ ගියෝවෙද්ද, සත්වඝාතනයෙන් වැළකුණෝ වෙද්ද, සොරකම් කිරීමෙන් වැළකුණෝ වෙද්ද, කාම මිථ්‍යාචාරයෙන් වැළකුණෝ වෙද්ද, බොරුකීමෙන් වැළකුණෝ වෙද්ද, මත්වීමට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පීමෙන් වැළකුණේ වෙද්ද, සිල් ඇත්තෝ වෙද්ද, කලණ දහම් ඇත්තෝ වෙද්ද, ඔවුන්ගේ පුත් තෙමේද බුදුන්සරණ ගියේ වේද, ධර්මය සරණ ගියේ වේද, සංඝයා සරණ ගියේ වේද, සතුන් මැරීමෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාම මිථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මත්වීමටද ප්‍රමාදයටද හෙතු සුරාමෙරය පානයෙන් වැළකුණේ වේද, සිල්වත් වේද කුසල් දහම් ඇත්තේ වේද, මහණෙනි, මෙසේ වනාහි පුත්‍රතෙමේ අනුජාතයෙක් වේ. (මව්පියනට සමාන ගුණ ඇත්තේ වේ.)

“මහණෙනි, කෙසේ වනාහි පුත්‍රතෙමේ අවජාත වේද, මහණෙනි, මේ ලොකයෙහි පුත්‍රයාගේ මවුපියෝ බුදුන් සරණ ගියාහු වෙද්ද, ධර්මය සරණ ගියාහු වෙද්ද සංඝයා සරණ ගියාහු වෙද්ද, ප්‍රාණ වධයෙන් වැළකුණාහු වෙද්ද, අදත්තාදානයෙන් වැළකුණාහු වෙද්ද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණාහු වෙද්ද, බොරුබස් බිණුමෙන් වැළකුණාහු වෙද්ද, මත්වීමට හා සිහියෙන් වෙන්වීමට හෙතුවූ රහමෙර පීමෙන් වැළකුණාහුවෙද්ද, සිල්වත්වූවාහු වෙද්ද, යහපත් ස්වභාවය ඇත්තාහු වෙද්ද, ඔවුන්ගේ පුත්‍රතෙමේ වනාහි බුදුරුවන් සරණ නොගියේ වේද, දහම්රුවන් සරණ නොගියේ වේද, සඟුරුවන් සරණ නොගියේ වේද, ප්‍රාණඝාතයන් නොවැළකුණේවේද හොරකම් කිරීමෙන් නොවැළකුණේ වේද, කාමමිථ්‍යාචාරයෙන් නොවැළකුණේ වේද, මුසාවාදයෙන් නොවැළකුණේවේද, මත්වීමට කරුණුවූ රහමෙර බීමෙන් නොවැළකුණේ වේද, දුශ්ශීල වේද, පව් ස්වභාවය ඇත්තේ වේද, මහණෙනි, මෙසේ වනාහි පුත්‍ර තෙමේ අවජාතවේ. (මව්පියනට වඩා හීන ගුණ ඇත්තේ වේද, මහණෙනි, මේ පුත්‍රයෝ තුන්දෙන වනාහි ලොකයෙහි ඇත්තාහුය, විද්‍යමානවන්නාහු යයි”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“පණ්ඩිතයෝ අතිජාත (මව්පියනට වඩා අධික ගුණ ඇතිව උපන්) පුත්‍රයාද අනුජාත (මවුපියනට සමාන ගුණ ඇතිව උපන්) පුත්‍රයාද කැමැති’ වෙත්, යමෙක් කුලය නසන්නේ වේද, (එබඳු) අවජාත (මව්පියනට වඩා හීන ගුණ ඇතිව උපන්) පුත්‍රයා නොකැමැති වෙති.

“ලොකයෙහි මේ තුන්දෙනම පුත්‍රයෝ වෙති, යම් (පුත්‍ර) කෙනෙක් උපාසකයෝ වෙද්ද, ශ්‍රද්ධාව ඇත්තාහු වෙද්ද, යුක්තවූවාහු වෙද්ද, (යාචකයන්ගේ) වචන දන්නාහු වෙද්ද, අදහස් දන්නාහු වෙද්ද, (නොහොත් ‘දෙව යන ඒ යාචකයන්ගේ බස් අසා මොහු පෙර දන් නොදී මෙබන්දෝ වූහ. මා එසේ නොවිය යුතුයයි’ ඔවුනට පරිත්‍යාගයෙන් ඒ අර්ථය දන්නාහු වෙද්ද, (පණ්ඩිතයන්ගේ කර්මය ස්වකීය කොට ඇති බව ආදිය ප්‍රකාශ කරණ වචන හේ දන්නාහු වෙද්ද පහවූ මසුරු මල ඇත්තාහු වෙද්ද වලාකුළෙන් හා වැසිවලාකුළෙන් මිදුනු සඳසේ (ක්ෂත්‍රියාදි) අටපිරිසෙහි බබළත්යයි.