ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

3. තික නිපාතය

4. විතක්ක වර්ගය

6. අසුභානුපස්සී සූත්‍රය

“මහණෙනි, කයෙහි අශුභයයි (අශුභ අයුර) අනුව බලන්නෝව වසවු. තොපගේ ආශ්වාස ප්‍රශ්වාසයෙහි යොදන සිහිය අනිත්‍යයයි අනුව බලන්නෝව වසවු මහණෙනි, කයෙහි අශුභයයි අනුව බලමින් වසන්නවූන්ගේ ශුභ නිමිත්තෙහි ශුභ අරමුණෙහි ඉපදීමට සුදුසු කාම රාගානුසයයෙක් වේද, ඒ අනුසයය පහවෙයි, තමා කෙරෙහි කර්මස්ථානයට අභිමුඛව ආශ්වාස ප්‍රාශ්වාසයන් අරමුණු කොට ඇති සිහිය මනාව වැටහුනු කල්හි බැහැරවූ ආසයානුගතවූ යම් (කාමවිතර්කාදී) මිථ්‍යා විතර්කයෝ වෙද්ද, දුක් කොටස් ඇත්තාවූ හෝ ආශාවිනාසය ඉපදීම ඇත්තාවූ හෝ ඒ මිථ්‍යා සංකල්පනාවෝ පහවෙත්. සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍යයයි අනුව බලමින් වසන්නවුන්ගේ යම් අවිද්‍යාවක් වේද, ඕ තොමෝ පහවෙයි. යම් (අර්හත් මාර්ග විද්‍යාවක් (ඥානයක්) වේද, ඒ මාර්ග විද්‍යාතොමෝ උපදී යයි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“කයෙහි අශුභය අනුව බලන්නාවූ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තෙහි එළඹ සිටි සිහිය ඇත්තාවූ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමවූ නිවන දක්නාවූ හැමදා කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ මනාව (දුක් ආදී වශයෙන්) දක්නාසුලුවූ වෑයම් කරන්නාවූ හෝ නිවැරදි නියමිත බැවින් නියතවූ හෝ ඒ මහණතෙම ඒකාන්තයෙන් ඒ නිවනෙහි රාගාදී කෙලෙස් සංසිඳවූ මෙලෝ පරලෝ වැඩ දන්නාවූ ඒ මහණතෙමේ යෝගය ඉක්ම වූයේ වේයයි”