ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

3. තික නිපාතය

5. පසාද වර්ගය

4. අග්ගිත්තය සූත්‍රය

“මහණෙනි, මේ ගිනි තුණක් වෙත්, කවර තුනක්දයත්, රාග නමැති ගින්නය, ද්වෙෂ නමැති ගින්නය, මොහ නමැති ගින්නය (යන තුනය.) මහණෙනි, මේ වනාහි තුන් ගිනි වෙති. රාග නමැති ගින්න මිථ්‍යාචාරයට පැමිණියාවූ ඇලුනාවූ සත්වයන් දවයි, ද්වෙෂ නමැති ගින්න වනාහි විකාරයට පැමිණිසිත් ඇත්තාවූ ප්‍රාණඝාත කරන සුලුවූ සත්වයන් (දවයි) මොහ නමැති ගින්න වනාහි ආර්ය ධර්මයෙහි දක්ෂ නොවූ අතිශයින් මුළාවූ (සත්වයන් දවයි.) මේ තුන් ගිනි නොදන්නාවූ සත්වයෝ උපාදානස්කන්ධ පඤ්චකයෙහි ඇලුනාහුය.

“ඒ සත්වයෝ සියලු නරකයද තිරිසන් යෝනියද අසුරනිකායද ප්‍රෙතවිෂයයද වඩත්, (ඔව්හු) ක්ලේශ බන්ධනයෙන් නොමිදුනාහුය, යම්කෙනෙක් වනාහි රෑ දාවල් දෙක්හි සම්‍යක් සම්බුදුන්වහන්සේගේ අනුශාසනයෙහි යෙදුනාහුද, නිතර අශුභය යන සංඥාව ඇත්තාවූ ඒ යොගීහු රාග නමැති ගින්න නිවයි. මොහ නමැති ගින්න වනාහි උතුම් මිනිස්සු මෛත්‍රීභාවනාවෙන් නිවත්, කෙලෙස් රැස විනිවිද පවත්නාවූ යම් ප්‍රඥාවක් වේද, ඒ ප්‍රඥාවෙන් මොහ නමැති ගින්න (නිවයි.) (ඒ යොගීහු) සියලු (ගිනි) නිවා මුහුකුරාගිය ප්‍රඥාව ඇත්තාහු රෑ දාවල්හි අලස බැව් නැත්තාහු ස්කන්ධ ඉතිරිනොකොට පිරිනිවන්පාත්, සියලු (සංසාර දුඃඛය ඉක්මවූහ.)

“ආර්යවූ නිවන හෝ ආර්යවූ චතුස්සත්‍ය ධර්ම හෝ දක්නාවූ මාර්ගඥානයට හෝ මාර්ගඥානයෙන් ගියාවූ පණ්ඩිතයෝ මොනවට දැන ඉපදීම ක්ෂයවූ නිවන දැන පුනරුත්පත්තියට නොපැමිණෙත්යයි.”