ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

3. තික නිපාතය

5. පසාද වර්ගය

5. උපපරික්ඛා සූත්‍රය

“මහණෙනි, යම් යම් ප්‍රකාරයකින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ හෝ සිහිකරන්නාවූ පටන්ගන්නාලද විදර්ශනා ඇති මේ භික්ෂුවගේ සිත එකඟවේද, නොවිසුරුණේ වේද, යම් හෙයකින් වීර්යය මදව උසුලන කල්හි සමාධියගේ බලවත් බැවින්ද කුසීතයෙන් මඩනා ලද බැවින්ද කර්මස්ථාන අරමුණෙහි සිටියේ නම් වේද, වීර්ය සමතාවෙන් නොසිටියේවේද, රූපාදියක් නොගෙන ත්‍රස්ත නොවන්නේද, ඒ ඒ ප්‍රකාරයෙන් නැවත නැවත පරීක්ෂාකරන්නේය. මත්තෙහි ඉපදීමය. ජරාවය මරණය සියලු දුඃඛයන්ගේ ඉපදීම නොවේයයි.”

මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“තෘෂ්ණා, දෘෂ්ටි, මාන, ක්‍රොධ, අවිද්‍යා, ක්ලෙශ දුශ්චරිත සංඛ්‍යාත ඇලීම් සත ප්‍රහීණ කළාවූ සිඳින ලද භව තෘෂ්ණාව ඇත්තාවූ භික්ෂුවගේ ඉපදීමවූ සසර ක්ෂයවූයේය, නැවත ඉපදීමෙක් නැතැයි.”