ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

3. තික නිපාතය

5. පසාද වර්ගය

6. කාමුප්පත්ති සූත්‍රය

“මහණෙනි, මේ කාමයන්ගේ උත්පත්තීහු තුන්දෙනෙකි. කවර තුන්දෙනෙක්ද යත්? පැමිණසිටි කාමයෝය, නිර්මානරතී කාමයෝය, පරනිර්මිතවශවර්ති (කාමයෝය) මහණෙනි, මේ වනාහි කාමයන්ගේ ප්‍රතිලාභ තුන වෙත් යයි.”

මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“පැමිණ සිටි කාමය ඇත්තෝය, අනුන් විසින් මවන ලද කාමයන් (තමාගේ) වශයෙහි පවත්වන්නාවූ යම් දෙවියෝ වෙද්ද, (තමා විසින්) මවනලද කාමයෙහි ඇලීම ඇත්තාවූ යම් දෙවියෝ වෙද්ද, කාමයන් අනුභව කරන්නාවූ අන්‍යවූ යම් කෙනෙක් (ඇද්ද, ඔහු)

“මේ (ලබනලද) ආත්මභාවයෙහිද නැවත උපදින අන්‍යභවයයි කියනලද මෙයින් සසර නොඉක්මවත්. දිව්‍යවූ යම්කාමයෝ වෙද්ද, මිනිසුන් සතු වූ යම් කාමයෝ වෙද්ද, (ඒ) හැම කාමයන් පහකරන්නේය.

“(යම් කෙනෙක්) ප්‍රිය ස්වභාවය ඇත්තාවූ රූපාදී අරමුණුවල සුඛ වෙදනා රසවිඳීමෙන් ගිජුවූ ඉක්මවන්නට දුෂ්කරවූ තෘෂ්ණා දියපහර සිඳ සියලු සංසාරදුඃඛය ඉක්මවූවාහුද, (ඔහු තුමූ) සියලු (කෙළෙස් ගිනි) නිවත්. “ආර්යවූ (බුද්ධාදීන් විසින්) දක්නාලද නිවණ හෝ චතුස්සත්‍යධර්මය දුටු මාර්ග ඥානයට පැමිණියාවූ හෝ මාර්ග ඥානයෙන් සසර කෙළවරට ගියාවූ දතයුතු දේ මනාව දැන (ඒ) පණ්ඩිතයෝ ජාතික්ෂය සංඛ්‍යාතවූ නිර්වාණය දැන නැවත භවයෙහි ඉපදීමට නොපැමිණෙත් යයි.”