ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

3. තික නිපාතය

5. පසාද වර්ගය

7. යොගයුත්ත සූත්‍රය

“මහණෙනි, පඤ්චකාම බන්ධනයෙහිවූ රාගයෙන් යුක්තවූද භව රාගයෙන් යුක්ත වූද, පුද්ගලතෙමේ එනසුලුවේ. මේ මිනිසත්බවට එන්නේවේ. මහණෙනි, කාම තෘෂ්ණාවෙන් තොරවූ භව රාගයෙන් යුක්තවූ පුද්ගලතෙමේ නොපැමිණෙනසුලු වෙයි. මේ මිනිසත් බවට නොඑන්නේ වෙයි. මහණෙනි, කාම තෘෂ්ණාවෙන් තොරවූද භවරාගයෙන් තොරවූද පුද්ගලතෙමේ ක්ෂය කරණලද ආශ්‍රවයන් ඇත්තාවූ රහත් වේයයි.

මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“කාම රාගයෙන් යුක්තවූද, භවරාගයෙන් යුක්තවූද කාම රාග භව රාග දෙකින් යුක්තවූද ඉපදීමට හා මැරීමටද පැමිණෙනසුලුවූ සත්වයෝ සසරට යෙති.

“යම් කෙනෙක් වනාහි කාමරාග යයි කියනලද ක්ලේශකාමය පහකොට චතුරාශ්‍රවයන්ගේ ක්ෂය කිරීමට නොපැමිණියාහුද, භව රාගයෙන් යුක්තවූ අනාගාමීහු කාමලෝකයට නොපැමිණෙන්නාහුයයි කියනු ලැබෙත්.

“සිඳින ලද සැකය ඇත්තාවූ යම් සත්වකෙනෙක් වනාහි ක්ෂයවූ නවවැදෑරුම් භයද මත්තෙහි පුනර්භවයද ඇත්තාහු වෙත්. යම් කෙනෙක් ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමට පැමිණියාහු වෙද්ද, ඒ සත්වයෝ ඒකාන්තයෙන් ලොකයෙහි එතෙරට ගියාහුයයි.”