ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

3. තික නිපාතය

5. පසාද වර්ගය

8. කල්‍යාණ සීල සූත්‍රය

“මහණෙනි, සොඳුරු සිල් ඇත්තාවූ කල්‍යාණ බොධිපාක්ෂික ධර්ම ඇත්තාවූ කල්‍යාණ (මාර්ගඵල) ප්‍රඥා ඇත්තාවූ මහණතෙම මේ ශාසනයෙහි රහත් වූ වැස නිමවනලද මාර්ග බ්‍රහ්මචරියාව ඇත්තාවූ උත්තම යයි කියනු ලැබේ. මහණෙනි, මහණතෙමේ කෙසේ නම් කල්‍යාණ සිල් ඇත්තේවේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ සිල් ඇත්තේවේද, ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවරවූයේ ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ වාසය කෙරේද, ස්වල්පමාත්‍ර දොෂයෙහි පවා භය දක්නාසුලුව, සමාදන්ව (මනාව ගෙන) ශික්ෂාපදයන්හි හික්මේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ මනා සිල් ඇත්තේ වෙයි. මනා සිල් ඇත්තේ මේ ප්‍රකාරයෙනි.

“කෙසේ නම් යහපත් බොධිපාක්ෂික ධර්ම ඇත්තේ වේද, මහණෙනි, මේ සස්නෙහි මහණතෙමේ සප්ත බොධි පාක්ෂික ධර්මයන් වැඩීමෙහි නැවත නැවත යෙදුනේ වාසය කෙරේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ සොඳුරු දහම් ඇත්තේ වෙයි, යහපත් සිල් ඇත්තේද, යහපත් දහම් ඇත්තේද මේ ප්‍රකාරයෙනි.

“කෙසේ නම් සුන්දර ප්‍රඥාව ඇත්තේවේද, මහණෙනි, මේ සස්නෙහි භික්ෂුතෙමේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් ආශ්‍රවයන් නැත්තාවූ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵලය හා එක්ව යෙදුනු ප්‍රඥාවද මේ ආත්මභාවයෙහි තෙමේම විශිෂ්ට ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙරේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම කලණ නුවණ ඇත්තේ වෙයි. මේ ප්‍රකාරයෙන් හොඳ සිල් ඇත්තේ හොඳ දහම් ඇත්තේ හොඳ ප්‍රඥාව ඇත්තේ මේ ශාසනයෙහි රහත්යයිද වැසනිමවන ලද මාර්ග බ්‍රහ්මචර්යය ඇත්තේයයිද උතුම් පුරුෂයයිද කියනු ලැබේ යයි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි (ගාථාවෙන්) මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“යමෙකුගේ කයින්ද, වචනයෙන්ද, සිතින්ද, දුශ්චරිතයන් නැත්තේද, ලජ්ජා ඇත්තාවූ නොහොත් හිරිඔතප් දෙකින් යුත් සිත්ඇත්තාවූ ඒ මහණ සොඳුරු සිල් ඇත්තේ යයි කියත්.

“යමෙකු විසින් ආර්ය මාර්ග ඥානයට පමුණුවන්නාවූ සප්ත ධර්මයෝ මොනවට වඩන ලද්දාහුද, අධික රාගාදී කෙලෙස් නැත්තාවූ ඒ භික්ෂුව ඒකාන්තයෙන් සොඳුරු දහම් ඇත්තේයයි කියත්.

“යමෙක් සංසාරදුඃඛය (නොහොත්) සංසාරදුඃඛයට හේතූන්ද මේ ආත්මභාවයෙහිම ක්ෂයවන බව දනීද, ආශ්‍රවයන් නැත්තාවූ ඒ භික්ෂුව ඒකාන්තයෙන් සුන්දර ප්‍රඥාව ඇත්තේයයි කියත්.

“ඒ ධර්මයන්ගෙන් යුක්තවූ නිදුක්වූ සිඳිනලද සැක ඇත්තාවූ ඇසුරු නොකළාවූ සියලු සත්වලොකයෙහි හැම (කෙලෙස්) පහකළාවූ (රහත්හු) යයි කියත් යයි.”