ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

3. තික නිපාතය

3. උදපානවග්ගො

277. රොමක ජාතකය

“රෝමකය, ගල්ගුහාවෙහි මඳක් අධිකවූ පනස් අවුරුද්දක් විමසූම්හ. පෙර සැක නොකරන්නාවූ සන්හුන් චිත්ත සන්තාන ඇති පක්ෂීහු මාගේ අත් පසට එන්නාහුයයි.

“වක්‍රවූ බෙල්ලක් ඇතිහෙයින් වක්කවග නම් තැනැත්ත පෙර විශ්වාසවූ පක්ෂීහු දැන් කුමක් සඳහා අන් පර්වතයකින් කඳුරැළියකට යෙත්ද, යම්සේ පෙරවූවාහුද, එසේම මා නොසිතතියි” සිතමි.

“බොහෝ කලක් වෙන්ව විසූ හෙයින් නොහඳුනද්ද? නොහොත් මොවුහු ඒ අප අඳුනන පක්ෂීහු නොවෙත්දැයි නොයෙක් ලෙස කියා වසඟ කරන්නට යත්න කෙරේ.”

“ආජීවකය, තා දනිමු. අපි මුළාවූවාහු නොවෙමු. තෝ ඒ තාපසයාමය. අපි ඔහුමය, අන්‍යයෝ නොවම්හ. තාගේ සිතද, මේ පක්ෂි ජනයා කෙරෙහි වෙනස්වූයේය. එසේ හෙයින් තට භයවෙමු.”

රොමකජාතකං සත්තමං.