ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

4. චතුක්ක නිපාතය

2. පුචිමන්දවග්ගො

317. මත රෝදන ජාතකය

“නො මළහුටම හඬව්, යමෙක් මැරෙන්නේද, එයට නොහඬව්, සියලුම සිරුරු දරන්නෝ පිළිවෙලින් තම තමන්ගේ ජීවිතය අත්හරිත්,

“දෙවියන් හා මිනිස්සුද සිව්පාවෝද පක්ෂි ගණයෝද, තවද භොග ඇත්තාහු ස්වකීය ශරීරයෙහි ඉසුරු නොවූවාහු සිත් අලවන්නාහුම ජීවිතය හරිත්,

“මෙසේ සැළෙන්නාවූ නොපිහිටියාවූ සැපදුක් දෙක මිනිසුන් කෙරෙහි අපේක්ෂාකොට හැඬීම් වැළපීම් නිරර්ථකය තොපගේ ශොකරාගීහු කුමට මඩිද්ද?

“ධූර්තවූ සොඬවූ ශාස්ත්‍ර පුරුදු නොකළාවූ, අඥානවූ නොකටයුත්තෙහි ශූරවූ කුශල මනස්කාරයෙහි නොයෙදෙන්නාවූ ධර්මයට අදක්ෂවූ යම් කෙනෙක් වෙද්ද, ඔව්හු ප්‍රාඥවූ මා බාල යෙකැයි” සිතතියි” කීයේයි.

මතරොදනජාතකං සත්තමං.