ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

5. පඤ්චක නිපාතය

2. වණ්ණාරොහ වර්ගය

362. ශීලවිමංස ජාතකය

“ශීලය උතුම්වේ. ශ්‍රැතයද හෙවත් උගත්කමද උතුම්යයි මෙසේ මට සැකයක් විය. ශ්‍රැතයට වඩා ශීලයම උතුම්වේයයි කීමෙහි මට සැකයක් නැත.

ක්ෂත්‍රියාදී ජාතියද රූප වර්ණයද හිස්ය. ශීලයම උතුම්වේමැයි ඒ එසේමැයි ශීලයෙන් යුක්ත නොවන්නාහට ශ්‍රැතයෙන් ප්‍රයෝජනයක් නැත.

“අධර්මයෙහි පිහිටියාවූ ක්ෂත්‍රිය තෙමේද අධර්මයන් ඇසුරු කළාවූ වෛශ්‍ය තෙමේද යන ඒ දෙදෙනා දිව්‍ය මනුෂ්‍ය යන දෙලොව හැර අපායෙහි උපදිත්.

“ක්ෂත්‍රියයෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය, ශුද්‍රයෝය, චණ්ඩාලයෝය, බඹුරෝය යන මොහු මෙලොව දස කුසල ධර්මයෙහි හැසිර දෙව්ලොවදී සමවූවාහු වෙත්.

“වේදයෝද පරලොව පිණිස නොවන්නාහ. ජාතියද පරලොව පිණිස නොවේ. නෑයෝද පරලොව පිණිස නොවන්නාහ. පිරිසිදුවූ ස්වකීය ශීලයම පරලොව සුව පිණිසද මෙලොව සුව පිණිසද වන්නේයි.”

සීලවීමංසජාතකං දුතියං.