ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

5. පඤ්චක නිපාතය

2. වණ්ණාරොහ වර්ගය

368. තචසාර ජාතකය

“හුණ දන්ඩෙන් බඳනා ලදුව සතුරන් අතට පත්වූ තෙපි ප්‍රසන්නවූ මුඛ වර්ණ ඇත්තහුය. තෙපි කුමක් හෙයින් ශොක නොකරව්ද,

“ශොක කිරීමෙන්ද හැඬීමෙන්ද ස්වල්පවූ ප්‍රයෝජනයකුත් නොලැබිය හැක්කේමය. ශොක කරන්නාවූ දුකට පැමිණියාවූ මොහු දැන සතුරෝ සතුටු සිත් ඇත්තාහු වෙත්.

“වැඩ අවැඩ දන්නාවූ පණ්ඩිතතෙම යම්හෙයකින් වනාහි ආපදාවන්හි කම්පා නොවේද, එහෙයින් මොහුගේ විකාරයට නොපැමිණියාවූ පෙර මෙන් තුබූ මුහුණ දැක සතුරෝ දුකට පැමිණියාහු වෙත්.

“මන්ත්‍ර ජප කිරීමෙන්ද මන්ත්‍රණය කිරීමෙන්ද ප්‍රිය වචන කීමෙන්ද, අල්ලස් දීමෙන්ද පරම්පරාව කීමෙන්ද යන මෙයින් යම් යම් පරිද්දෙකින් යම් තැනක වැඩක් හෝ දියුණුවක් ලබන්නේද, ඒ ඒ පරිද්දෙන් එතැනදී උත්සාහ කරන්නේයි.

“මා විසින් හෝ අනිකෙකු විසින් හෝ මේ අර්ථය ලබන්ට නොපිළිවනැයි යම්හෙයකින් දන්නේ නම් ශොක නොකරන්නේ දැඩිවූ අකුශල කර්මය කෙළේනම් දැන් කුමක් කෙරෙම්දැයි ඉවසන්නේයයි” කීයේය.

තචසාරජාතකං අට්ඨමං.