ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

6. ඡක්ක නිපාතය

1. අවාරිය වර්ගය

376. අවාරිය ජාතකය

“පෘථිවීශ්වරයාණෙනි, නොකිපුන මැනවි. රාජොත්තමය, නොකිපෙනු මැනවි. කිපුනහුට නැවත නොකිපෙන්නාවූ රජතෙම රටවැස්සා විසින් පුදනු ලද්දෙක් වේ.

“ගමෙහි හෝ (නොහොත්) වනයෙහි හෝ වලතැන්හි හෝ (නොහොත්) ගොඩබිමෙහි හෝ සියලු තන්හි නුඹ වහන්සේට අනුශාසනා කරමි. රාජොත්තමය, නොකිපුණ මැනව.

“ගංගාවෙහි අවරියපිතා නම් වූ නැවියෙක්වී. හෙතෙම පළමුකොට මගී ජනයා එතෙර කොට පසුව වැටුප් ඉල්වයි. ඒ කාරණයෙන් ඔහුගේ දබරය වේ. භොගයෙන්ද නොවැඬේ.

“දරුව, නාවිකය, මෙතෙර සිටියාවූ එතෙර නොවූම ජනයාගෙන් වැටුප් ඉල්වව. පරතෙරට ගියහුගේ සිත අනිකෙක්මැයි. (වැටුප් නොදී යනු කැමතිවෙයි.) එතෙරවීම සොයන්නහුගේ සිත අනිකක් වේ. (හෙවත්) වැඩියකුත් දී යනු කැමතිවේ.

“ගමෙහි හෝ (නොහොත්) වෙනෙහි හෝ වලෙහි හෝ (නොහොත්) ගොඩෙහි හෝ සියලු තන්හි තොපට අනුශාසන කරමි. නාවිකය, නොකිපෙව,

“යම්බඳු අනුශාසනාවකින්ම රජතෙම ගම්වරක් තපස්වීහට දුන්නේද, ඒ අනුශාසනාවෙන්ම නාවිකතෙම තපස්වීහුගේ මුඛයට පහර දුන්නේය.

“බත්තළිය බිඳිනාලදී. භාර්යාතොමෝ නසනලදී. දරුගර්භයද, භූමියෙහි හෙළනලදී. පාගාපසුකොට ගියාවූ ස්වර්ණයෙන් මුවෙකු මෙන් ඒ අවවාදයෙන් ඒ අඥානවූ තොටියා තමහට අභිවෘද්ධියක් නිපදවන්ට නොහැකිවූයේයයි” කීයේය.

අවාරියජාතකං පඨමං.