ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

6. ඡක්ක නිපාතය

1. අවාරිය වර්ගය

377. සේතකේතු ජාතකය

“දරුව, සේතකේතු නම් තැනැත්තෙනි, නොකිපෙව, ක්‍රොධ කිරිම යහපත් නොවේ. තා විසිනුදු නොදක්නා ලද්දද, නොඅසනලද දෙයද බොහෝ වෙයි. මවු පිය දෙදෙන දරුවන්ට පූර්වදිශා බව වේ. ආචාර්යයෝ දක්ෂිණෙය හෙයින් දිශාවන්ගෙන් ප්‍රශස්තවූ දක්ෂිණ දිශාවයයි බුද්ධාදී ආර්යයෝ කියත්.

“සේතකේතුව, ආහාර දෙන්නාවූ පාන වර්ග දෙන්නාවූ වස්ත්‍ර දෙන්නාවූ දන් පිණිස කැඳවන්නාවූ යම් ගෘහස්ථ කෙනෙක් ඇද්ද? එයද දිශාවකැයි බුද්ධාදීහු කියති. (නොහොත්) ආහාර දෙන්නාවූ පානවර්ග හා වස්ත්‍ර දෙන්නාවූ යම් ගෘහස්ථයෝ වෙද්ද? ඔවුන්ට සදෙව් ලොව සම්පත් දීමෙන් මතු මතු කැඳවන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ද බුද්ධාදීන් උපරිම දිශායයි කියති. යම් දිශාවකට පැමිණ දුක්පත් ජනයෝ සුවපත් වෙද්ද, මේ දිශාතොමෝ උතුම්වේ.

“රළුවූ අඳුම්දිවි සම් අඳින්නාවූ ජටාමඩුළු බැන්දාවූ මළ සහිත දත් ඇත්තාවූ කිළුටුවූ ස්වභාවය ඇත්තාවූ යම් මේ තපස්වී කෙනෙක් ඇද්ද, ඔහු මන්ත්‍ර ජපකෙරෙද්ද, කිමෙක්ද, මෙය දන්නාවූ මොව්හු අපායෙන් මිදුනාහු වෙද්ද?

“රජ ඉදින් බහුශ්‍රැතයෙකුදු (හෙවත්) බොහෝ උගතෙකුදු පව්කම්කොට කුශල ධර්මයෙහි නොහැසිරෙන්නේ නම් සහශ්‍රවේදයාගේ (හෙවත්) දහස් ගණන් වේද දත් තැනැත්තේද ඒ දැනීම නිසා ශීලයට හා අෂ්ටසමාපත්තියට නොපැමිණ දුකින් නොමිදෙන්නේය.

“සහශ්‍රවේද, වූයේද, ශීලයට නොපැමිණ, ඒ බහුශ්‍රැතභාවය නිසා දුකින් නොමිදෙන්නේද, එහෙයින් වේදයෝ නිෂ්ඵල වෙත් යයි හඟිමි. එසේමැයි ශීලය සහිතවූ චරණයම එක් සත්‍යයකි.

“වේදයෝ නිෂ්ඵලවූවාහු නොමවෙත්. ශීලය සහිත වූ චරණ ධර්මසංඛ්‍යාත සමාපත්තියම උත්තමය. ඒ එසේමැයි වෙදයන් හදාරා කීර්තියට පැමිණේ. නැවත චරණධර්ම කරණකොටගෙණ දැමුනේ නිවනට පැමිණේයයි” වදාළේය.

සෙතකෙතුජාතකං දුතියං.