ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

6. ඡක්ක නිපාතය

1. අවාරිය වර්ගය

378. දරීමුඛ ජාතකය

“බ්‍රහ්මදත්තය, කාමයෝ නම් පංකය හෙවත් මඩ වැනිද වේ. කාමයෝ නම් පැතුරුණු මඩෙකි, එහෙයින් තුන් මුලකින් සිටියාක් මෙන් අචලවූ මේ කාමය මහත් භයකැයි කියනලදී. රජය යයිද ධුමයයිද මා විසින් ප්‍රකාශකරණලදී. මේ කාමයන් හැර නුඹ පැවිදිවෙව.

“බ්‍රාහ්මණය, කාමයන්හි ගැටගැසුනාවූද, ඇළුනාවූද, අතිශයින් මූර්ඡාවූද, ජීවිකාවෙහි කැමතිවූ මම භයජනක ස්වභාවය ඇති ඒ කාමය දුරුකරන්ට උත්සාහ නොකරමි. එහෙයින් බොහෝ වූ පිංකරන්නෙමි.

“වැඩ කැමතිවූ හිත සිතින් අනුකම්පා කරන්නහු විසින් අවවාද කරණු ලබන්නාවූ යමෙක් මෙයම උතුම්යයි සිතමින් අනුශාසනය නොකෙරේද, අඥානවූ හෙතෙම නැවත නැවත මාතෘගර්භයට පැමිණෙන්නේය.

“සසර බියපත්වූ සිත වඩන්නවුන්ට අශුභවූ මළ මුත්‍ර වලින් පිරුනාවූ දරුණු ස්වභාව ඇති මවු කුසයයි කියනලද නරකයට පැමිණෙන්නේය. යම් කෙනෙක් කාමයන්හි පහනොවූ රාග ඇත්තාහු, ගිජුවූවාහු, ඇළුනාහු වෙද්ද ඔව්හු ඒ මවුකුස වාසය නොහරිත්.

“අශුචියෙන් තැවරුණාවූ, ලෙයින් වැකුණාවූ සෙමෙන් තැවරුණ වූ සත්වයෝ නික්මෙන්නාහුද, යමක් යමක්ම ශරීරයෙන් ස්පර්ශ කෙරෙද්ද, ඒ සියල්ල එකෙණෙහි අමධුරය. හුදෙක් දුක්මැයි අනිකෙකු කෙරෙන් අසා නොම කියමි. පෙරවිසූ කඳපිළිවෙළ දැක කියමි. බොහෝකොට පූර්වෙනිවාසය මම සිහිකරමියි වදාළේය.

“මහණෙනි, දරීමුඛ නම් පසේබුදුතෙම විසිතුරුවූ මනාකොට කියනලද ගාථාවලින් යහපත් නුවණැති රජු තමාගේ වචන ගැන්වීය.”

දරීමුඛජාතකං තතියං.