ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

6. ඡක්ක නිපාතය

1. අවාරිය වර්ගය

382. සිරිකාලකණ්ණි ජාතකය

“ශරීර වස්ත්‍රාභරණයන්ගේ නීලවර්ණයෙන් යුක්තවෙහිය. ප්‍රිය දර්ශන ඇත්තියක්ද නොම වෙහිය. එබඳුවූ තී කවර තැනැත්තියක්ද, තී කවර තැනැත්තියක් හෝ වෙහිද, කවරහුගේ දුවක් හෝ වෙහිද, අපි තී කෙසේ දනිමුද,

“මම විරූපාක්ෂ නම්වූ මහරජහුගේ දුව වෙමි. ක්‍රොධ ස්වභාවයෙන් චණ්ඩ නම් ඇත්තී කළුපාට ඇත්තී අධන්‍යවූවා කාලකණ්ණියයි මා දනිත්. ඉල්වනලද්දේ මට අවකාශයක් වෙව, ඔබගේ සමීපයෙහි අද එක රැයක් වාසය කරමු.

“කෙබඳු සිල් ඇති කෙබඳු හැසුරුම් ඇති පුරුෂයෙකු කෙරෙහි තී වෙසෙහිද, කාළිය, මා විසින් විචාරණ ලද්දී යම්සේ අපි තී දනිමුද එසේ කියව,

“යම් පුරුෂයෙක් ගුණමකුවේද, තමා හා තරඟයට පැමිණේද කළ දේට වඩා කිරීමෙන් යුක්තද, ඊර්ෂ්‍යා ඇත්තේද, මසුරුවූයේද, කෛරාටිකවේද, යමෙකුගේ ලද දෙය විනාශ වේද, එබඳු පුරුෂතෙම මට ප්‍රියවේ.

“යමෙක් කිපෙනසුළුද, බද්ධවෛර ඇත්තේද, කේලාම් කියන්නේද, මිත්‍රයන් බිඳිනසුළුද, දෝෂ සහිත වචන ඇත්තේද, රළු බස් ඇත්තේද, හෙතෙම යටකී පුරුෂයාට වඩා අතිශයින් ප්‍රියවේ.

“පුරුෂතෙම අද කටයුතුය හෙට කටයුතුයයි ස්වකීය කටයුත්ත නොදනීද, අවවාද කරණු ලබන්නේ කිපේද, හෙතෙම තමාට වඩා උත්තමයා ඉක්මවා සිතාද,

“පඤ්චකාමයෙහි නිතර පැවති ඡන්දරාගයෙන් මඩනා ලද පුරුෂතෙම සියලු මිත්‍රයන්ගෙන් පිරිහේද එබඳු පුරුෂ තෙම මට ප්‍රියවේ. ඔහු කෙරෙහි දුක් නැත්තියක් හෙවත් සුවසේ වසන්නියක් වෙමි.

“කාලිය, තී මෙයින් පහව යව, මේ තී කැමතිවූ මක්ඛාදී ගුණය අප කෙරෙහි විද්‍යමාන නොවේ. අනික් ජනපදයකට හෝ නියම්ගම්වලට හෝ රාජධානිවලට හෝ යවයි කීය.

“මෙය තොප කෙරෙහි නැතැයි මමද එය දනිමි. ලෝකයෙහි පින් නැත්තෝ ඇත්තාහ. ඔව්හු බොහෝ වූ ධනය රැස්කරත්. ඒ ධනය මමද මාගේ සහෝදරවූ දිව්‍ය පුත්‍රයාද යන දෙදෙනා වනසන්නෙමු.

“දිව්‍යවූ වර්ණයෙන් යුක්තව පෘථිවියෙහි මනාව පිහිටියාවූ මෝතොමෝ කවර තැනැත්තියක්ද, තී කවර තැනැත්තියක් වෙහිද, කවරක්හුගේ දුවක් වෙහිද, තී අපි කෙසේ දනිමුද?

“ශ්‍රීමත්වූ ධ්‍රතරාෂ්ට්‍ර නම් ලද මහරජහුගේ දුව මම වෙමි. ශ්‍රී නම්ද ලක්ෂ්මී නම් වූවාද මම ය. මා මහත්වූ ප්‍රඥා ඇත්තී යයි දෙව්ලෝවාසීහු දනිති. යාච්ඤා කරණලද්දේ අවකාශයක් දෙව, ඔබගේ සමීපයෙහි වාසය කරමු.

“ලක්ෂ්මිය, කෙබඳු සිල් ඇති, කෙබඳු හැසුරුම් ඇති පුරුෂයා කෙරෙහි නුඹ වෙසෙහිද, මා විසින් විචාරණ ලද්දී කියව, අපි තී යම්සේ දනිමුද, එසේ කියවයි කීයේය.

“යමෙක් වනාහි සීතයන්ද, නොහොත් උෂ්ණයන්ද අව්, සුළන්ද, ඩැහැ ලේ බොන මැසි මදුරුවන්ද, දීර්ඝජාතික සර්පයන්ද, සා දුකද, පිපාසාවද යන සියල්ල මැඩ හෙවත් මේ සියල්ල තෘණ ලවයක් කොටද නොගෙණ යමෙක් රෑ දාවල් නිතර තමන්ගේ කටයුත්තෙහි යෙදුනේවේද, සුදුසු කාලයට, එළඹ සිටි ප්‍රයෝජනය නොපිරිහෙලාද, එසේවූ පුරුෂතෙම මට ඉෂ්ට දෙවිවේ. ඔහු කෙරෙහි වාසය කරමු.

“යමෙක් නොකිපෙනසුළුද, කළණ මිතුරන් ඇත්තේද, ධන පරිත්‍යාග ඇත්තේද, ශීලයෙන් යුක්තද කෛරාටික නොවේද, ඍජු වූයේද, මිත්‍ර සංග්‍රහාදිය කරන්නේද, මෘදු වචන ඇත්තේද, සියලු තෙපුල් ඇත්තේද, මහත් බවට පැමිණියේවේද, යටත්පහත් පැවතුම් ඇත්තේද, එබඳු පුරුෂයා කෙරෙහි සමුද්‍රයාගේ වර්ණය බලන්නවුන්ට යම්සේ රළ වේගය වැටහේද, එපරිද්දෙන් මම මහත්වූවා වෙමි.

“යමෙක් වනාහි මිත්‍රයා කෙරෙහිද, නොහොත් සතුරා කෙරෙහිද, තමහට උසස්වූවහු කෙරෙහිද, සමානවූවහු කෙරෙහිද, නොහොත් හීනයා කෙරෙහිද තමාට වැඩ කරන්නහුටද, නොහොත් අවැඩකරන්නහුටද යන සියල්ලන් කෙරෙහි පැමිණි තැන හෝ රහසිගතව හෝ චතුර්විධ සංග්‍රහයම පවත්වාද,

“කිසිකලෙකත් රළු බස් නොකියන්නේද, එසේවූ මළාවූද, ජීවත්වන්නාවූද ඔහුට සමීපවෙමි. නුවණ නැත්තාවූ යමෙක් මොවුන් ගෙන එක්තරා කාන්තවූ ශ්‍රීයක් ලබා එයින් ප්‍රමාදවේද, ඒ උඩඟු ස්වභාව ඇති විසමව හැසිරෙන්නහු අසුචි පිරුණු වළක්මෙන් දුරුකෙරෙමි.

“පුරුෂතෙමේ ලක්ෂ්මිය තමා විසින්ම තමාට කරන්නේය. අලක්ෂ්මියද තමා විසින්ම තමාට කරන්නේය ශ්‍රීයවේවයි අශ්‍රීය හෝ වේවයි අනිකෙකුට අනික් කරන්නෙක් නැත්තේමැයි.

සිරිකාළකණ්ණිජාතකං සත්තමං.