ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

6. ඡක්ක නිපාතය

1. අවාරිය වර්ගය

383. කුක්කුට ජාතකය

“මනා විසිතුරු පියාපතින් කළ සෙවෙනි ඇති එල්ලෙන සිළු ඇති පක්ෂිරාජය, දෘම ශාඛාවෙන් හෙවත් ගස අත්තෙන් බසිනු මැනව. ඔබට කිසිවක් නොගෙණ නිකම්ම භාර්යා වෙමි.

“කළ්‍යාණිය, තී සිව්පා ඇත්තී වෙහි. මනහර තැනැත්තිය, මම දෙපා ඇත්තෙමි. සිව්පා ඇති තී හා දෙපා ඇති මම නුසුදුස්සහ. හෙවත් නොගැළපෙති එහෙයින් අනික් සැමියෙකු සොයාගණුව.

“ඔබට බාල කල පටන් අන් පුරුෂ සංගමයක් නොකළ අඹුවක් වන්නෙමි. මිහිරි කථායෙන් ප්‍රිය තෙපුල් කියන්නියක් වෙමි. සුන්දරවූ ප්‍රතිලාභයෙන් මා ප්‍රතිලාභය කරව. ඉදින් කැමැත්තෙහි නම් මා දාසියක්කොට අස්වව.

“පක්ෂීන් අනුභව කරන්නාවූ ලේ බොන්නාවූ සෙරවූ කුකුළන් මරන්නී වූ තී බ්‍රහ්මචරිය ලාභයෙන් ස්වාමිවූ මා කැමැත්තී නොවෙහියයි කීයේය.

“මෙසේ දක්ෂවූ ස්ත්‍රීහුද, පුරුෂයෙකු දැකම සිළුටුවූ තෙපුලෙන් බැළලී කුකුලකු මෙන් තමන් වසඟබවට පමුණුවත්.

“යමෙක් වනාහි උපන්නාවූ අර්ථය වහා දැන නොගණීද, එසේ වූයේ සතුරන්ගේ වසඟයට පැමිණේ. පසුව තැවෙන්නේදවේ.

“යමෙක් වනාහි උපන්නාවූ අර්ථය වහාම දැනගණීද, හෙතෙමේ බැළලිය කෙරෙන් මිදුනාවූ කුකුළා මෙන් සතුරා කෙරෙන් මිදෙන්නේයි”

කුක්කුටජාතකං අට්ඨමං.