ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

6. ඡක්ක නිපාතය

2. ඛරපුත්තවග්ගො

388. තුණ්ඩිල ජාතකය

“අභිනවාකාරවූ දානය දෙනු ලැබෙයි. මේ අපගේ බත් ඔරුව සුදු බතින් පිරුණීය. අපගේ ස්වාමි දුවද සිටියාය. ඈ පමණක් නොව මල පුඩුගත් අත් ඇති බොහෝ දෙනා සිටියාහ. එසේ හෙයින් බත් කන්නට මට නොවැටහේ.

“තුණ්ඩිලය, ත්‍රස්ත වෙහි, භ්‍රමනය වෙහි, පිහිටක් කැමැත්තෙහි අසරණ වූයේ වෙහිය. කොහි යන්නෙහිද, නිරුත්සාහීව අනුභව කරව, මාංශ පිණිසම අපි පෝෂණය කරණු ලබමු.

“මඩ රහිතවූ විලට බසුව, සියලු ඩහදිය මල දුරු කරව, යමෙකුගේ ගන්ධය කිසිකලෙකත් නොසිඳේද, එබඳු අළුත්වූ විලෙපනය ගණුවයි” කීයේය.

“මඩ නැති විල කවරේද? ඩහදිය මලයයි කුමකට කියනු ලැබේද, අළුත්වූ විලවුන් නම් කවරේද? කවරෙකුගේ ගන්ධය කිසිකලෙක්හි නොසිඳේද?

“පඤ්ච ශීලාදීවූ ධර්මයතෙම රාගාදී මඩ රහිත හෙයින් මඩ නැති විලය පාපය ඩහදිය මලයයි කියනු ලැබේ. ශීලයද අළුත්වූ විලවුන් හා සමවේ. ඒ සීලයාගේ ගන්ධය කිසිකලෙකත් නොසිඳෙයි.

“අනුන්ගේ සිරුරු නසන්නාවූ අඥානයෝ සතුන් නැසීමෙහි සතුටු වෙත්. සිරුරු දරන්නාහු නොම සතුටු වෙත්. ගුණෙන් පිරුණාවූ පූර්ණ චන්ද්‍රයා යුක්ත දිනයෙහි අප වැන්නෝ සතුටු වන්නාහුම ජීවිතය හරිත්.”

තුණ්ඩිලජාතකං තතියං.