ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

6. ඡක්ක නිපාතය

2. ඛරපුත්තවග්ගො

390. මය්හක ජාතකය

“ශිලා පර්වතයෙහිද පාංශු පර්වතයෙහිද, පර්වත විවරයෙහිද හැසිරෙන්නාවූ “මය්හං මය්හං” කියා හඬන හෙයින් මය්හක නම්වූ පක්ෂියෙක් පැසුනු ගෙඩි ඇති පුළිල ගසකට නැඟී මාගේ මාගේ යයි කියා හඬයි.

“මෙසේ හඬන්නාවූ ඔහුගේ පුළිලගෙඩි රැස්වූ පක්ෂි සමූහයා අනුභව කොට යත්. ඒ පක්ෂි තෙමේ හඬාමැයි.

“එපරිද්දෙන්ම මේ ලෝකයෙහි සමහරෙක් බොහෝවූ වස්තුව රැස්කොට කොටස්වූ පරිද්දෙන් තමහටද නොම ප්‍රයෝජන කරයි. නෑයන්ටද දියයුතු පරිද්දෙන් නොදෙන්නේමැයි.

“හෙතෙම වස්ත්‍රද බත්ද එකවරක් නොඅනුභව කෙරෙයි. මල් නොපළඳියි, විලවුන් නොගනියි, කිසි නෑ කෙනෙකුන්ටද සංග්‍රහ නොකෙරෙයි.

“මාගේ මාගේයයි රක්නාවූ මෙසේ හඬන්නාවූ ඔහුගේ වස්තුව රජවරුද, නොහොත් සොරුද, අප්‍රියයෝද හිමියෝද ගෙණයත්. ඒ මනුෂ්‍යතෙමේ හඬාමැයි.

“ප්‍රාඥතෙමේ වනාහි සම්පත්තියට පැමිණ නෑයන්ටද සංග්‍රහ කෙරෙයි. එයින් කීර්තියටද පැමිණෙයි. පරලොවද “ස්වර්ගයෙහි සතුටුවෙයි.”

මය්හකජාතකං පඤ්චමං.