ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

6. ඡක්ක නිපාතය

2. ඛරපුත්තවග්ගො

392. හිසපුප්ඵ ජාතකය

“යම් හෙයකින් දියෙහි හටගත්තාවූ කයින් වචනින් නුදුන්නාවූ මේ නෙළුම් මල සුඹුනෙහිද මෙය අදත්තාදාන චේතනාවන්ගේ එක් කොටසකි. නිදුකාණෙනි, එසේ හෙයින් සුවඳ සොරෙක් වෙහිය.

“පද්මය හැරගෙණ නොයමි, නොබිඳිමි, දුර සිට සුඹුනෙමි. එසේ කල්හි කවරකාරණයකින් සුවඳ සොරායයි කියනු ලැබේද?

“යමෙක් යම් හෙයකින් නෙළුම් අල සාරයිද, හෙළ නෙළුම් බිඳීද, මෙසේ දරුණු කර්මාන්ත ඇති මේතෙම සොරායයි නොකියනු ලැබේද?

“ගැවසීගත් රෞද්‍රබව ඇති පුරුෂතෙම කිරි මවකගේ ඉතා කිළුටු වස්ත්‍රයක් මෙන් පවින් වැකුණේමය. එසේ හෙයින් ඔහු කෙරෙහි මාගේ වචනයක් නැත. ඔබට වනාහි කියන්නට සුදුසු වෙමි.

“නිර්දොෂවූ නිරන්තරයෙන් පිරිසුදු ගුණධර්මයන් සොයන්නාවූ පුරුෂයාගේ පාපය සම්බන්ධව කෙසඟක් පමණවූද දෝෂය මහාමේඝයක් ප්‍රමාණව වැටහෙන්නේය.

“යක්ෂය, ඒකාන්තයෙන් මා හඳුනන්නෙහිය නැවත මට අනුකම්පා කරව. යක්ෂය, යම් කලෙක්හි මෙබඳු වරදක් දක්නෙහිද, එකල්හි නැවතද අවවාද වශයෙන් කියව.

“භික්ෂුව” තා අනුව ජීවත් නොවෙමි. තාගේ බැළයෙන්ද ජීවත් නොවම්හ. යම් ගුණධර්මයකින් සුගතියට යන්නේ නම් එය ඔබම දැන ගන්නෙහියයි” කීයේය.

සිඞ්ඝපුප්ඵ ජාතකං සත්තමං.