ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

7. සප්තක නිපාතය

1. කුක්කුට වර්ගය

397. මනොජ ජාතකය

“යම්සේ දුන්න නැමේද දුනුදිය පොළනලද්දී හඬාද, එසේහෙයින් මනොජ නම්වූ මාගේ යහළුවූ සිංහයා නසනු ලැබීයයි හඟිමි.

“එබැවින් දැන් වනාන්තරයට සුවසේ යෙමි. මෙබඳුවූ මළ තැනැත්තෝ යාළුවෝ නොවෙත්. ජීවත්වන්නාවූ මට යාළුවෝ ලැබිය හැක්කාහුයි.

“ලාමක ජනයන් සේවනය කරන්නේ බොහෝ කලක් සුව නොලබන්නේය. ඊ පහර ලදින් හෝනාවූ මනොජ නම්වූ සිංහයා බලව. ගිරිය නම් හිවලාගේ අනුශාසනාව මෙබඳුයි.

“පවට නැමුනාවූ පුත්‍රයා කරණකොටගෙණ මව සතුටුනොවෙයි. ඒ එසේමැයි. ස්වකීයවූ ලෙයෙහි ගැලී නිදන මනොජයා බලව,

“යමෙක් ඒකාන්තයෙන් මතු වැඩ දක්නාවූ හිතවතුන්ගේ අවවාදය නොකෙරේද, එබඳු පුරුෂතෙම මෙසේ වූ දුකට පැමිණෙයි. ලාමක බවටද පැමිණෙයි.

“උතුම්වූ යමෙක් හීන ජනයන් සේවනය කරන්නේද හෙතෙම ඒ හීනයාට වඩා මෙපරිද්දෙන් ඉතා ලාමකවේ. එසේමැයි හීන ජනයා සේවනය කළාවූ උතුම්වූ හී පහරින් විද මළාවූ සිංහයා බලව.

“හීනයන් සේවනය කරන්නාවූ පුරුෂතෙම පිරිහේ. සමානවූවෙකු සේවනය කරන්නේ කිසිකලෙක්හි නොම පිරිහෙන්නේය. උතුම්වූවෙකු කරා පැමිණෙන්නේ වහාම අභිවෘද්ධියට පැමිණේ. එහෙයින් තමාට වඩා ශීලාදී ගුණයෙන් වැඩිහිටියක්හු සේවනය කරන්නේය.”

මනොජජාතකං දුතියං.