ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

7. සප්තක නිපාතය

1. කුක්කුට වර්ගය

402. සත්තුභස්ත ජාතකය

“බමුණ, චඤ්චලවූ සිත් ඇත්තේ ඇළලී ගිය ඉඳුරන් ඇත්තේ වෙහිය. තාගේ ඇස්වලින් කඳුළු දිය බිඳු වෑහෙත්. තාගේ කුමක් නැතිවූයේද, කුමක් ප්‍රාර්ථනා කරමින් මෙහි ආයේද, එබැවින් ඒ කාරණය කියව.

“සේනක පණ්ඩිතයෙනි, අද ගෙටයන්නාවූ මාගේ අඹුව මියයන්නේය. ගෙට නොයන්නාවූ මට අතර මග මරණය වන්නේයයි යක්ෂයෙක් කීයේය. මේ දුකින් වෙව්ලන්නේවෙමි. මේ කාරණය මට කියව,

“බමුණ, බොහෝවූ කරුණු විශෙෂයෙන් කල්පනා කොට මෙහි යමක් කියන්නෙම්ද, එයම සත්‍යය. තාගේ අක්සුණු පසුම්බියට නොදැනුවත්ව කෘෂ්ණ සර්පයෙක් ප්‍රවිෂ්ට වූයේයයි සිතමි.

“දණ්ඩක්ගෙණ පසුම්බිය පහරව, මුඛයෙන් කෙළ වැගිරෙන දිව් දෙකක් ඇති පිටතට නික්මුනු සර්පයා බලව. අද තාගේ සැකයද, විචිකිච්ඡාවන්ද සිඳුව සර්පයා බලව, පසුම්බිය මුදව.

“සංවේගයට පැමිණි ස්වභාව ඇති ඒ බමුණුතෙමේ හක්සුණු පසුම්බිය මිදුයේය. එකල්හි උරයෙන් ගමන් කරන්නාවූ උග්‍රවූ තේජස් ඇති ශීඝ්‍රවූ විෂ ඇති සර්පයා පෙනේ කොට පසුම්බියෙන් නික්මුනේය.

“යමෙක් යහපත්වූ ප්‍රඥා ඇති සේනක පණ්ඩිතයන් නිතර දක්නේද එසේවූ ජනක නම් රජහට මනාකොට ලැබුනු ලාභයකි.

“බ්‍රාහ්මණය, විවෘත කරණ ලද කෙලෙස් සෙවෙනි (පියසි) ඇති සියල්ල දක්නාවූ සර්වඥ වූයෙහිද, ඔබගේ ඤාණයට වනාහි සර්වඥ ඥානයක් මෙන් භයංකාර රූපයක් ඇත්තේයයි ඔබ විසින් දෙනලද ජීවිතය මා විසින් අද ලබනලදී. තවද මාගේ අඹුවටද සුවයක් කෙළේය. එසේහෙයින් මාගේ මේ සත්සියයක් පමණ කහවණු ඇත. ඒ සියල්ල ඔබට දෙමි එය ගණු මැනව.

“මනාකොට කියනලද විසිතුරු ගාථාවන් කරණ කොටගෙණ පණ්ඩිතයෝ කුලී නොගණිති. තට මෙයිනුදු ධනය දෙත්වා එය ගෙණ තෝ ස්වකීය ගෙට යවයි’ කීයේය.

සත්තුභස්තජාතකං සත්තමං.