ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

7. සප්තක නිපාතය

1. කුක්කුට වර්ගය

403. අට්ඨිසෙන ජාතකය

“අට්ඨිසේනය, මම ඒකාන්යෙන් යම් යාචක කෙනෙකුන් නොහඳුනම්ද ඔව්හු මා වෙත පැමිණ ඉල්වති. ඔබ මා කුමක් හෙයින් නොඉල්ලන්නෙහිද?

“යාඥා කරන්නේ අප්‍රියවේ. යාඥා කළ වස්තුව නොදෙන්නේද අප්‍රියවේ. මට නොසතුට නොවේවයි එහෙයින් මම තාගෙන් නොඉල්වමි.

“යාඥාවෙන් ජීවත් වන්නාවූ යමෙක් ඒකාන්තයෙන් සුදුසු කාලයෙහි ඉල්විය යුත්ත නොඉල්වාද, හෙතෙම අනිකාද පිනෙන් පිරිහෙළයි. තෙමේද ජීවත් නොවෙයි.

“ඉල්වීමෙන් ජීවත් වන්නාවූ යමෙක් වනාහි සුදුසු කාලයෙහි ඉල්විය යුත්ත ඉල්වාද, හෙතෙම අන්‍යයාටද පින ලබාදෙයි. තෙමේද ජීවත්වේ.

“නුවණැත්තෝ තමා කරා ආවාවූ යාචකයන් දැක නොකිපෙත්. බ්‍රහ්මචාරිය, මම ප්‍රියවූයේ වෙමි. එහෙයින් කියයුතු දෙයක් කැමැත්තෙහිද, එය ඉල්වව.

“නුවණැත්තෝ ඒකාන්තයෙන් මෙනම් මෙනම් වස්තුවක් අපට දෙවයි නොඉල්වති. නුවණැති උපස්ථායකයාද මෙනම් දෙයක් මේ සමයට වුවමැනවැයි දැනගන්ට සුදුසු වෙයි. ආර්යයෝ උදෙසා සිටිති. මෝතොමෝ ආර්යයන්ගේ යාඥාවවේ.

“බමුණ, වෘෂභ රාජයෙකු හා සමග රතුපාට වූ දෙනුන්ගෙන් දහසක් ඔබට දෙමි. ඔබගේ ධර්මයෙන් යුක්තවූ ගාථාවන් අසා ඔබ සේවූ ආර්යයෙකුට ආර්ය පුද්ගලයෙක් කෙසේ නම් නොදෙන්නේද?”

අට්ඨිසෙනකජාතකං අට්ඨමං.