ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

7. සප්තක නිපාතය

2. ගන්ධාර වර්ගය

413. ධූමකාරි ජාතකය

“දහම් කැමැතිවූ යුධිට්ඨිල නම් රජතෙම විධුර පණ්ඩිතයන් විචාළේය. බ්‍රාහ්මණය, හුදකලාවූ කවරෙක් නම් බොහෝ කරුණෙන් ශොක කෙරේයයි දන්නෙහිදැයි විචාළේය.

“එළු සමූහයාගෙන් යුක්තව බොහෝ දර ඇතිව වනයෙහි වසන්නාවූ වාසෙට්ඨ නම් බමුණුතෙම රෑ දාවල් අනලස්ව මැසි උවදුරු හරණ පිණිස ගිනි දුම් කෙළේය.

“ඒ ගිනිදුම් ගඳින් මැසි මදුරුවන්ගෙන් පෙළුනාවූ සරභ මෘගයෝ ඒ ගිනිදුම් කරන්නාවූ බ්‍රාහ්මණයාගේ සමීපයෙහි වර්ෂා කාලයෙහි විසීමට පැමිණියාහුය.

“ඒ බමුණුතෙම සරභ මෘගයන් කෙරෙහි ස්නෙහ උපදවා ගොදුරු පිණිස හැසිර එන්නාවූද ගාලින් නික්ම යන්නාවූද එළුවන් නොදනියි. එසේ නොසළකන්නාවූ ඔහුගේ ඒ එළුවෝ සිංහ උපද්‍රව ආදියෙන් විනාශ වූහ.

“සරභ මෘගයෝ මැසි මදුරුවන් ප්‍රහීණවූ වනය ඇති, ශරත් කාලයෙහි ගංගාවන්ගේ හටගැන්ම ඇත්තාවූ පර්වත දුර්ගවලට පිවිසියාහුය.

“වනයට ගියාවූ සරභ මෘගයන්ද විනාශයට පැමිණියාවූ එළුවන්ද දැක ඒ අජපාල බ්‍රාහ්මණතෙම ශොකයෙන් කෘශවූයේ දුර්වර්ණ ශරීර ඇත්තේ හටගත් පාණ්ඩු රෝග ඇත්තෙක්ද වූයේය.

“මෙසේ යමෙක් ස්වකීය ජනයා හැර දමා ආගන්තුග ජනයා ප්‍රිය කෙරේද හෙතෙම හුදකළාවූ ඒ ධූමකාරී බ්‍රාහ්මණයා මෙන් බොහෝසෙයින් ශොක කෙරෙයි.

ධූමකාරිජාතකං අට්ඨමං.