ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

8. අට්ඨක නිපාතය

417. කච්චානි ජාතකය

කාත්‍යායනිය, හැඳි සුදුවත් ඇත්තී පිරිසිදුවූ තෙත්වූ කෙහෙඇත්තී පිසන තලිය මිනිස් හිස් උදුනට නංවා තල පිටියෙන් සහල් කිම දෝනෙහිද තල බත කුමකට වන්නේද?

යහපත් නුවණ ඇති බ්‍රාහ්මණය, මේ තල බත වනාහි බොජුන් පිණිස නොවන්නේය. වැලිකුමටද යත් ධර්මයතෙම මළේය. ඒ ධර්මයට සොහොන් මැද මම මේ මතක බත කරන්නෙමි.

කාත්‍යායනිය විමසා දැන මේ කටයුත්ත කරව. ධර්මය තෙම මළේයයි මෙය තව කවරෙක් නම් කීයේද, අසමවූ ආනුභාව ඇති දහසක් නෙත් ඇති ශක්‍ර තෙමේ උතුම් ධර්මයවේ. කිසිකලෙකත් හේ නොමියේයයි” කීයේය.

බමුණෙනි ධර්මයතෙම මළේයයි මෙහි මාගේ දැඩිවූ ප්‍රමාණයවේ. මට මෙහිලා සැකයක් නැත්තේය. ඊට කරුණු කිමයත්? දැන් යම් යම් කෙනෙක්ම පාපයෝ වෙද්ද ඔව්හු ඔව්හුම දැන් සුවපත්වූවෝ වෙත්.

මාගේ යෙහෙළිණිය වනාහි වඳවූවාය. ඕතොමෝ මට හිංසාකොට පුතකු වැදුවාය. ඕතොමෝ දැන් කුලයට අධිපතිවූවාය. මම වනාහි බැහැරදමනලද්දී අනාථ වීමි.

මම ජීවත්වෙමි. මම මළේ නොවෙමි. තී සඳහාම මෙහි ආයේ වෙමි. යම් යෙහෙළිණියක් තොමෝ තීට වධ කොට පුතෙකු වැදුවාද, පුතු හා සමගම ඇය හළු කෙරෙමියි කීයේය.

දිව්‍ය රාජය, මෙයද ඔබට රුචිවේ. මා සඳහාම මෙහි ආයේ වෙහිය. මමද පුතුද යෙහෙළියද මුණුබුරුද සතුටු වෙමින් ගෙහි වෙසෙමු.

කාත්‍යායනිය තීට මෙයද රුචිවේ. තලනු ලැබුවාමවූ තීද පුතුන් කෙරෙහි මෛත්‍රී ධර්මය දුරුනොකෙළෙහිය. තීද පුත්‍රයාද යෙහෙලීද මුණුබුරාද සතුටුවෙමින් ගෙහි වාසය කරව්.

“ඒ කාත්‍යායන ගොත්‍ර ඇත්තී යෙහෙළිණිය හා සමග සතුටුවෙමින් ගෘහයෙහි විසීය. දෙවෙන්ද්‍රවූ ශක්‍රයා විසින් අධිගෘහිතවූ පුත්‍රයාද මුණුබුරාද ඇයට උපස්ථාන කළාහුයයි” වදාළේය.

කච්චානිජාතකං පඨමං.