ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

8. අට්ඨක නිපාතය

420. සුමංගල ජාතකය

“අතිශයින්ම මම කිපියෙමියි බලා පෘථිවිශ්වර තෙමේ පළමුකොට දඬුවම් නොපනවන්නේය. කුමක් හෙයින්දයත්, අකාරණයෙන් තමා රජ බවට නුසුදුසු දෙය කරවයි. අන්‍යයන්ට බලවත් දුක් කියන්නේය.

“යම් කලෙක තමාගේ ප්‍රසාදය දන්නේද, අන්‍යයාගේ දුෂ්කෘතවූ කාරණය පරීක්ෂා කරන්නේද, එකල්හි මෙයම ඔහුගේ දෝෂයයි තෙමේ බලා ඉක්බිති ඔහුට සුදුසුවූ දඬුවම නිමකරන්නේය.

“ඡන්දාදීන් මුසපත් නොවූ යමෙක් තෙමේ නීතිය හෝ අනීතිය පමුණුවාද, හෙතෙම අන්‍යයාද නොම දවයි. තමාද නොම දවයි. මේ ලෝකයෙහි යම් පෘථිවිශ්වරයෙක් තෙම වරදට සුදුසු දඬුවම් පණවමින් දණ්ඩධාරීවේද, ගුණයෙන් හා යශසින් රැකුණාවූ ඒ රජතෙමේ රාජ්‍ය ශ්‍රීයෙන් නො පිරිහේ.

“නොවිමසා කටයුතු කරන්නාවූ යම් රජ කෙනෙක් මුසපත්වූවාහු වහා දඬුවම් පණවත්ද, අවර්ණයෙන් යුක්තවූ ඔහු ජීවිතය හරිත්. මෙයින් මිදුනාහුද දුර්ගතියට යෙත්.

“යම් රජ කෙනෙක් ආචාරයෙන් ආර්යවූ ධාර්මික රජුන් විසින් ප්‍රකාශ කරණ ලද දශ රාජ ධර්මයෙහි ඇළුණාහුද, ඒ රජහු වචනයෙන්ද සිතින්ද ක්‍රියායෙන්ද ශ්‍රෙෂ්ඨයහ. ශාන්තියෙහිද සුරතභාවයෙහිද සමාධියෙහිද, පිහිටියාවූ ඒ එබඳු දැහැමි රජහු දෙලොවටම පැමිණෙත්.

“මම ස්ත්‍රී පුරුෂයන්ට ස්වාමිවූ රජවෙමි. ඉදින් කිපුණෙම් නමුදු තමා නීතියෙහි පිහිටුවමි. එබඳුවූ ජන සමූහයා නොමග යාමෙන් වළක්වමින් නුවණින් අනුකම්පා කොට දඬුවම් පවත්වමි.

“ජනාධිපතිවූ රජතුමනි, පරිවාර සම්පත්තියද ප්‍රඥාවද ඔබම කිසිකලෙකත් අත්නොහරීවා. ක්‍රොධනොවූයේ නිතර පහත්වූ සිත් ඇත්තේ නිදුක්වූයේ ඔබ හවුරුදු සියයක් රට පාලනය කෙරේවා.

“මේ ගුණවලින් යුක්තවූ ක්ෂත්‍රියය, පිහිටි ආර්ය වූ පැවතුම් ඇත්තේ කීකරු වූයේ ක්‍රොධ නොකරන්නේ සුවපත්වූයේ ජනයා නොපෙළෙමින් පොළොව අනුශාසනා කරව, මෙයින් මිදුනේද සුගතියට පැමිණෙව,

“මෙසේ මනා නීතියෙන්ද යහපත් වචනයෙන්ද, සුචරිත ධර්මයෙන්ද ත්‍යාගයෙන්ද උපාය දක්ෂකමෙන්ද රාජ්‍ය අනුශාසනා කරන්නේ කැළඹුනාවූද මහාජනයා මහවැස්සක් ජලයෙන් පොළොව නිවන්නාක් මෙන් නිවන්නේය.”

සුමඞ්ගලජාතකං චතුත්ථං.