ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

8. අට්ඨක නිපාතය

423. ඉන්ද්‍රිය ජාතකය

“එම්බා නාරදය, යමෙක්තෙම කාමාශාවෙන් ඉන්ද්‍රියයන්ගේ වසඟයට යේද, හෙතෙම දෙලොව සැප හැරදමා ජීවත්වන්නේ නමුදු කැමැතිදේ නොලත් ශොකයෙන් වියලේ.

“පස්කම් සැපයට අනතුරුව නිරාදුකට පැමිණෙත්. සිල් රැකීම් වශයෙන් පැමිණෙන දුකට අනතුරුව දෙව් මිනිස් සැපයට පැමිණෙත්. ඒ නාරද ඍෂිතෙමේද නෛෂ්ක්‍රම්‍ය සැපය නසා දුකට පැමිණියේය. උතුම්වූ ඒ ධ්‍යාන සැපය කැමතිවනු මැනව.

“යමෙක් තෙමේ දුක් උපන් කල්හි දුක් ඉවසන්නේද දුක මැඩ විනාශ කෙරේද, ඒ ප්‍රාඥතෙම දුක් කෙළවර ඇති සැපයවූ ධ්‍යානයට මනාව පැමිණේ.

“කාමයන්ට නොම කැමතිවිය යුත්තාහ. අර්ථය රහිතවන හෙයින්ද, අර්ථයට උපකාර නොවන හෙයින්ද, වෙත්. උපදවනලද්දාවූද ධ්‍යානය විනාශකොට කුශල ධර්මයෙන් චුතවන්ට සුදුසු නොවේ.

“ගෘහපතියෙකුට ඇතිවන දුක මැනව. බෙදාදී වැළඳීමද මැනව. මහත්වූ අර්ථලාභයන්හි උඩඟු නොවීමද මැනව. ධන විනාශයෙහි ක්ලාන්ත නොවීමද මැනව.

“ඒ දේවල ඍෂිතෙම යමක් කීයේද, මේ පණ්ඩිත බවද මෙපමණක්මය යමෙක් තෙම ඉන්ද්‍රියයන්ගේ වසඟයට යන්නේද, මීට වඩා කිසියම් ලාමක බවෙක් නැත්තේය.

“එම්බා සිවි මහරජ, සතුරන්ගේ අතට පත්වූවෙක් වැනි මා මෙන් විනාශයට පැමිණේද, ගොවිතැන්, වෙළඳාම් ආදී කර්මාන්තද හස්තිශිල්ප ආදී විද්‍යාවද ධන රැස්කිරීමෙහි දක්ෂ බවද, විවාහයද, ශීලය හා මෘදුබවද යන

“මෙතෙක් අභිවෘද්ධිදායක කරුණු නසා ස්වකීය අකුශල කර්මයෙන් මනුෂ්‍යප්‍රේතව උපන්නාවූ ඒ මම දහසකින් පැරදුණාහු මෙන් නෑයන් රහිතවූයේ පිළිසරණ රහිතවූවෙක් වෙමි.

“ආර්ය ධර්මයෙන් පහව ගියාවූ මම ප්‍රෙතයෙක් යම්සේද එමෙනි. සැප කැමැත්තවුන් දුක් පත්කරවා මේ මනුෂ්‍යප්‍රෙත බවට පැමිණියෙමි. ඒ මම ගින්නෙහි සිටියෙකු මෙන් සැපයට නොපැමිණෙමි.

ඉන්ද්‍රියජාතකං සත්තමං.