ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

8. අට්ඨක නිපාතය

424. ආදිත්ත ජාතකය:

“ගෘහය ගිනිගත් කල්හි යම්කිසි භාණ්ඩයක් බැහැර කෙරේද, ඒ ගෘහ ස්වාමියාහට වැඩ පිණිස වේ. යමක් එසේ බැහැර නොකරණලදද එය එහි හළුවේ.

“එපරිද්දෙන් ලෝකයතෙම ජරාවෙන්ද මරණයෙන්ද ගිනිගන්නා ලද්දේය. දන්දීමෙන්ම බැහැර කරන්නේය. දෙනලද්ද, මනාකොට බැහැර කරණ ලද්දේ වේ.

“යම් සත්වයෙක්තෙම උට්ඨාන (නැඟීසිටින) වීර්යයෙන් ලබනලද දැහැමින් ලබනලද දෙයින් දන්දේද, හෙතෙම යමයාගේ වේතරණී නම් නරකය ඉක්මවා දිව්‍ය සම්පත්වලට පැමිණේ.

“දන් දීමද යුද්ධ කිරීමද සමානයයි කීහු. ස්වල්පවූද හරිනාලද ජීවිතාශා ඇත්තෝ බොහෝ සතුරන් දිනත්. නොහොත් කුශල ධර්මයෝ ස්වල්ප වූවාහුද, බොහෝ වූ අකුශලයන් දිනත්. ඉදින් ස්වල්පයකුදු කම්පල අදහමින් දේද, එහෙයින්ම හෙතෙම පරලොව සුවපත් වේ.

“දක්ෂිණාර්හයන් (දනට සුදුස්සන්) සොයා දන්දීම සර්වඥයන් වහන්සේලා විසින් පසස්නාලදී මේ මනුෂ්‍යලෝකයෙහි යම් දක්ෂිණාර්හ කෙනෙක් වෙද්ද, උන්වහන්සේලා කෙරෙහි දෙනලද දානයන් මනාකෙතෙහි වපුරණලද බීජ මෙන් මහත්ඵල ඇතිවෙත්.

“යමෙක් තෙමේ ප්‍රාණ නම් වූ භූතයන් නොපෙළමින් හැසිරෙන්නේ අනුන්ට නින්දා නිමිත්තෙන් පව් නොකෙරේද, පවට භය ඇත්තාහට ප්‍රශංසා කරත්ද, එහි දක්ෂවූවහුට ප්‍රශංසා නොකෙරෙද්ද, සත්පුරුෂයෝ බියෙන් පව් නොකෙරෙත්.

“ලාමකවූ බ්‍රහ්ම චර්යාවෙන් රජකුලෙහි උපදී. මධ්‍යමවූ බ්‍රහ්ම චර්යාවෙන් දෙවිබවට පැමිණේ. උතුම්වූ බ්‍රහ්මචර්යාවෙන් පිරිසිදුවේ.

“ආමිෂ දානය වනාහී ඒකාන්තයෙන් බොහෝසේ පසස්නාලදී. දානයටද වඩා ධර්ම පදයම උතුමි. පෙරද ඉතා පෙරද සප්‍රාඥවූ ඒ බුද්ධාදී සත්පුරුෂයෝ නිර්වාණයටම පැමිණියාහුය.

ආදිත්තජාතකං අට්ඨමං.