ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

8. අට්ඨක නිපාතය

426. දීපි ජාතකය

“මයිලණුවෙනි, කිම ඉවසිය හැකිද යැපිය හැකිද, ඔබට සැපද ඔබගේ සුවය මව් තොමෝ අද විචාළීය. අපිද ඔබට සුව කැමැත්තාහුද වෙමු.

“එළුදෙන, මාගේ වල්ගා හවරිය පාගා බලාත්කාරකම්කොට අද මයිලනුවෙනි යන වචනයෙන් මිදිය යුත්තීයයි සිතන්නෙහිද?

“පූර්ව දිශාවට අභිමුඛව හුන්නෙහිය. මම නුඹ වහන්සේගේ ඉදිරියෙන් ආමි. පසුපසින් ඔබගේ නගුටවෙයි කෙසේ නම් පෑගුයෙම්ද?

“සමුද්‍ර සහිතවූ පර්වත සහිතවූ සතර දිවයින යම් තාක් වෙද්ද, මාගේ වල්ගා හවරිය ඒතාක්වේ. කෙසේ නම් තී එය නොගන්නීද?

“දුෂ්ටයාගේ නගුට දික්ය යන ඒ කරුණ මව්පියෝද සහෝදරයෝද පෙරම මට කීහු. ඒ මම අහසින් ආමි.

“එළුදෙන අහසෙහි එන්නාවූද තී දැක මුව සමූහයා පැන ගියේය. තී විසින් මාගේ ගොදුර නසන ලදී.

“මෙසේ කියා එසේ වලප්නාවූ එළුදෙනගේ ගෙල ලෝහිත පානය කරන්නාවූ දිවිතෙමේ ඩැහැගෙණ පෙළීය. දුෂ්ටයා කෙරෙහි සුභාෂිත (හිත) වචනයෙක් නැත්තේය.

“දුෂ්ටයා කෙරෙහි නීතියක් නොම ඇත්තේය. ස්වභාව ධර්මයෙක්ද නොම ඇත්තේය. යහපත් වචනයෙක්ද නැත්තේය. දුෂ්ටයා කෙරෙහි පරාක්‍රමය යොදන්නේය. ඒ දුෂ්ට තෙමේද සත්පුරුෂයන් හා නොඇලේයයි කීයේය.”

දීපිජාතකං දසමං.

අෂ්ටක නිපාතය නිමි.