ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

9. නවක නිපාතය

427. ගිජ්ඣ ජාතකය

“කණු සිටුවා රැහැන් ඇද කරණ ලදහෙයින් සංකුපථ නම්වූ පැරණිවූ ගිජුකුළු මුදුනෙහි මාර්ගයක් විය. එහි ගිජුලිහිණියෙක් මහළු මව්පියන් පොෂණය කෙළේය.

“ඔවුන්ට වුරුණු තෙල් සහිත පිඹුරුමය බොහෝ සෙයින් ගෙණායේය. පියතෙමේද දන්නේ උස්තැන්හි පැන යන්නාවූ මහත් බල ඇති ඉතා දුර යන්නාවූ පක්ෂ බලඇති සුපත්ත නම්වූ පුත්‍රයාහට මෙසේ කීයේය.

“දරුව, යම් කලෙක මුහුදින් වටවූ රිය රෝදයක් මෙන් රවුම්වූ ඉල්පෙන්නාවූ පෘථිවිය දන්නේද, හෙවත් දකින්නෙහිද දරුව එයින් නවතුව ඉන් එහා නොයව.

“බලවත්වූ පියාපත් ඇති වක්වූ ග්‍රීවා ඇති පක්ෂි රාජතෙම පර්වතයන්ද වනයන්ද බලමින් වේගයෙන් අහසට පැන නැංගේ විය.

“යම්සේ යවයි කියා පියාගෙන් අසන ලදද, එසේවූ සයුරෙන් වට කරණ ලද රිය රෝදයක් මෙන් වටවූ පෘථිවිය ගිජු ලිහිණිතෙම දුටුයේය.

“හෙතෙම ඒ පියාගේ අවවාදයද ඉක්මවා ඈතටම ගියේය. බල ඇති ඒ පක්ෂියාද තියුණුවූ වළාමඩුළු පැහැර ගත්තේය.

“වේරම්බ වාතයන්ගේ වසයට ගියාවූ කියන ලද මාර්ගය ඉක්මවා ගියාවූ පක්ෂිරාජතෙම නැවත නවතින්ට නොහැකි විය. විනාශයටම පැමිණුණේය.

“අවවාදය අනුව නොපිළිපදින්නාවූ යම් ගිජුලිහිණියෙක්වීද ඔහුගේ පුත්‍රයෝද භාර්යාවෝද සෙසු පිරිවර ජනයෝද යන යම් කෙනෙක් ඇද්ද? ඒ සියල්ලෝ විනාශයට පැමිණියාහුය.

“මෙසේම මේ ලෝකයෙහි යමෙක් තෙම වැඩිහිටියන්ගේ වචනය දැන නොකෙරේද, සීමාව ඉක්මවා හැසිරෙන්නාවූ උඩඟුවූ ඉක්මවූ අනුශාසනා ඇති ගිජුලිහිණියා මෙන් වැඩිහිටියන්ගේ අවවාදය නොකොට සියල්ලෝ විනාශයට පැමිණෙත්.”

ගිජ්ඣජාතකං පඨමං.