ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

9. නවක නිපාතය

428. කොසම්බ ජාතකය

“පතළාවූ ශබ්ද ඇති සමානවූ ජනතෙම කිසිවෙක් අඥානයයි නොදන්නේය. සංඝයා බිඳෙන කල්හි අනිකක් බොහෝසෙයින් නොදත්හ.

“අඥානයෝ පණ්ඩිත මානී බැවින් වචනවල ආඩම්බර ඇත්තාහ. මුඛාරූඪවූවක්ම කියන්නාහ. යම්තාක් කැමති වෙද්ද, ඒතාක් මුඛාරූඪකොට යම් කලහයකින් මේ නිර්ලජ්ජී භාවයට පමුණුවන ලද්දාහුද, එය නොදත්හ.

“මට ආක්‍රොශ කෙළේය. මට ගැසීය. මා පැරදවීය. මා සතු දෑ සොරකම් කොට ගත්තේයයි යමෙක් තුමූ ඒ වෛරය බැඳ ගනිද්ද, ඔවුන්ගේ වෛරය නොසංසිඳේ.

“මට බැන්නේය. මා පැරදවීය, මා අයිති දෙය සොරකම්කොට ගන්නේයයි යමෙක් තුමූ ඒ වෛරය නැවත නැවත නොබැඳ ගණිද්ද, ඔවුන්ගේ වෛරය සංසිඳේ.

“මේලෝකයෙහි වෛරයෝ කිසිකලෙකත් වෛරයෙන් නොසංසිඳෙත්. වෛරය නොකිරීමෙන්ම සංසිඳෙත්. මේ අවෛරයෙන් වෛරය සංසිඳුවීම බුද්ධාදී උතුමන්ගේ පුරාතන ධර්මයකි.

මේ සඟමැද අන්‍යයෝ අපි මරුමුවට යම්හයි නොහොත් කලහ කිරීමට උත්සාහ කරම්හයි නොදනිත්. එහි යමක්හු වනාහි අපි කලහ කිරීමට යත්න කෙරෙමුයි දනිද්ද, එහෙයින් කලහයෝ සංසිඳෙත්.

ඇට සිඳිනාලද දිවිතොර කරන්නාවූ ගවයන් අශ්වයන් හා රන් රුවන් ආදී ධන සොරකම්කොට ගන්නාවූ රට කොල්ල කන්නාවූ ඒ රජවරුන්ගේද එක්වීමවේ. කුමක් හෙයින් තොපගේ සමගිය නොවන්නේද?

“නුවණැති, සමග හැසිරෙන, යහපත් හැසුරුම් ඇති ධෛර්යවත්වූ කල්‍යාණ මිත්‍රයෙකු ඉදින් ලබන්නේ නම් සියලු උපද්‍රවයන් මැඩ ඔහු හා සතුටු සිත් ඇත්තේ ස්මෘතිමත් වූයේ හැසිරෙන්නේය.

“නුවණැති, සමග හැසිරෙන මනා හැසුරුම් ඇති ධෛර්ය සම්පන්නවූ යහපත් මිත්‍රයෙකු ඉදින් නොලබන්නේ නම් දිනන ලද රටහැර වනගතවූ මහාජනක රජහු මෙන්ද වනයෙහි හුදකලාව වසන මාතංග නම්වූ පාරිලෙය්‍යක ඇතු මෙන්ද තනිව හැසිරෙන්නේය.

“තනිවූවහුගේ හැසිරීම උතුම්වේ. අඥානයා කෙරෙහි සහාය බවක් නැත්තේය. වනයෙහි තනිව වසන මාතංග නම්වූ ඇතු මෙන් උත්සාහ රහිතව තනිව හැසිරෙන්නේය. පව් නොම කරන්නේය.”

කොසම්බියජාතකං දුතියං.