ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

9. නවක නිපාතය

429. මහා සුව ජාතකය

“යම් කලෙක්හි ගස හටගත් ගෙඩි ඇත්තේ වේද, එකල්හි එය කුරුල්ලෝ අත්තෙන් අත්තට යන්නාහු කත්. ගෙඩි අවසන්වූ කල්හි ගස ගෙඩි නැතැයි දැන කුරුල්ලෝ එයින් දිශානු දිශාවට යෙත්.

“ලේවන් තුඩු ඇති පක්ෂි රාජය, සැරිසරමින් හැසුරුනෙහි. කීර පක්ෂිය, නුඹ වියලි ගසෙහි කිම, සිතිවිලි සිතන්නෙහිද, එබැවින් එය කියව. වසන්ත වනයට බඳු පැහැ ඇති කීර පක්ෂිය, කුමක් හෙයින් වියලි ගස නොහරනෙහිද,

“එම්බා හංසරාජය, ඉදින් යහළුවන්ට යම් යහළු කෙනෙක් වෙද්ද, ඔහු තුමූ දිවි තොරවීමෙහිද සුව දුක් දෙක්හිද පිරිහුණේයයිද නොපිරිහුණේයයිද එය සත්පුරුෂයෝ සත්පුරුෂයන්ගේ ධර්මය සිහිකරන්නාහු අත්නොහරිත්.

“එම්බා හංස රාජය, ඒ මම සත්පුරුෂයන්ගෙන් එක්තරා එකෙක් වෙමි. මට මේ රුක නෑයාද වේ. යහළුවාද වේ. පිරිහුණේයයි දැන ජීවත්වීම ප්‍රයෝජනකොට ඇත්තේ එය හැර දමන්ට උත්සාහ නොකරමි. ඒ හැරදැමීම සත්පුරුෂ ධර්මය නොවේ.

“යහළු බවද මෛත්‍රියද පිරිස් මැද සමාගමයද මනා කොට කරණ ලද්දේවේ. ඉදින් ඒ ධර්ම තුන රුචිවෙහි නම් දන්නවුන්ගේ ප්‍රශංසාවට සුදුස්සෙක් වෙහිය.

“පියාපත් යානා කොට ඇති අහසින් ගමන් කරන්නාවූ වක්‍රවූ ග්‍රීවා ඇති කීර පක්ෂි රාජය, ඒ මම තොපට කැමති වරයක් දෙමි. සිතෙහි යම්කිසිවක් කැමැත්තෙහි නම් එය ඉල්වා ගණුව.

“එම්බා හංස රාජය, නුඹ ඉදින් මට වරයක් දෙන්නේ නම් මේ දිඹුල් රුක නැවත ආයුෂ ලබාවා ඒ ගස අතු ඇත්තේ ගෙඩි ඇත්තේ මනාව වැඩුණේ මිහිරි ඵල ඇත්තේ ශොභමානව සිටීවා.

“යහළුව, මහත්වූ ඵල ඇති ඒ වෘක්ෂය බලව දිඹුල් ගස හා සමගම තාගේ වාසය වේවා. ඒ දිඹුල් රුක අතු ඇත්තේ ගෙඩි ඇත්තේ මනාව වැඩුණේ මිහිරි ඵල ඇත්තේ සොභමාන වෙමින් සිටීවා.

“එම්බා ශක්‍ර දෙවේන්ද්‍රය, මම ගෙඩි සහිතවූ ගස දැක අද යම්සේ සුවපත් වූයෙම්ද, එසේ සියලු නෑයන් සමග ඔබ සුවපත්වේවා.

“උදුම්බර ගස ගෙඩි සහිතකොට කීර පක්ෂියාටද වරය දී සුජා නම් භාර්යාව හා සමග දෙවියන්ගේ නන්දන නම් උයනට ශක්‍රතෙම ගියේය.”

මහාසුවජාතකං තතියං.