ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

9. නවක නිපාතය

430. චුල්ල සුක ජාතකය

“නිල්වන් කොල ඇති ගස් ඇත්තාහුය. බොහෝ ගෙඩි ඇති නොයෙක් වෘක්ෂයෝ ඇත්තාහුය. පවනින් හඬන්නාවූ වියලි ගසෙහි කුමක් හෙයින් ගිරවාගේ සිත ඇළුණේද,

බොහෝ නොයෙක් සිය ගණන් අවුරුදු ඵලය අනුභව කෙළෙමු. ඵල නැති රුකද දැන පෙර යම්සේ මිත්‍ර බවක් වීද, ඵල නැති කල්හිද එයමවී.

“වියලී ගියාවූද පවනින් හඬන්නාවූ කොළ වැටුණු දාම නම් වෘක්ෂය හැරදමා පක්ෂීහු යෙත්. ගිරවා මෙහි කවර දොෂයක් දක්නෙහිද,

යම් කෙනෙක් ඵලය පිණිස සේවනය කෙරෙද්ද, ඵල නැතැයි එය හැර දමත්ද, ආත්මාර්ථය පිළිබඳ නුවණ ඇති දුෂ්ට බුද්ධි ඇති ඔහු තුමූ මිත්‍ර පක්ෂය නසන්නාහු වෙත්. නොහොත් ආත්මාර්ථ පක්ෂයෙහිම වැටෙන්නාහු වෙත්.

“යහළු බවද මෛත්‍රියද සමූහයා මැද සමාගමයද මනාකොට කරණ ලද්දේවේ. ඉදින් ඒ ධර්මය කැමති වෙහි නම් ප්‍රාඥයින්ගේ ප්‍රශංසාවට සුදුස්සෙක් වෙහිය.

“පියාපත් යානාකොට ඇති අහසින් ගමන් කරන්නාවූ වක්වූ බෙල්ල ඇති සුවරාජය, ඒ මම තොපට වරයක් දෙමි. සිත්හි යම්කිසිවක් කැමැත්තෙහි නම් එය ඉල්වව.

“කොළ ඇති ගෙඩි සහිත ඒ ගස දක්නේනම් ඉතා යෙහෙක නිධානයක් ලැබූ දිළින්දෙක් මෙන් නැවත නැවත එය සතුටු කරන්නේය.

“ඒ ගංගායෙන් අමෘත ජලය ගෙන දිඹුල් ගසට වත්කෙළේය. ඒ ගසේ සිහිල් හෙවණ ඇති සිත් කලුවූ අතු පතර වැඩුණාහුය.

“එම්බා ශක්‍ර දෙවෙන්ද්‍රය, මම ගෙඩි සහිත ගස දැක අද යම්සේ සුවපත්වූයෙම්ද එසේ ඔබද සියලු නෑයන් සමග සුවපත් වෙව.

දිඹුල් ගස ඵල සහිතකොට ගිරවාටද වර දී සුජාතාව හා සමග දෙවියන්ගේ නන්දනවන නම් උයනට ශක්‍ර තෙම ගියේය.”

චූළසුවජාතකං චතුත්ථං.