ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

9. නවක නිපාතය

432. පදමානවක ජාතකය

“බොහෝ ශාස්ත්‍ර දත් විසිතුරු කථා ඇති පාටල නම් ගාන්ධර්වයා ගංගාතොමෝ ගසාගෙන යයි. ගඟ දියෙන් ගෙන යනු ලබනු තැනැත්ත, තට යහපතක් වේවා. මට එක් කුඩා ගාථාවක් කියව.

“දුකට පැමිණියහු යම් ජලයකින් තෙමද්ද, ආතුර වූවහු යම් ජලයකින් තෙමෙද්ද, ඒ ජලය මැද මිය යන්නෙමි. එසේවූ පිහිට ඇති තැනින් භය උපනි.

“යම් පොළොවෙක බීජයෝ හටගනිද්ද, සත්වයෝ යම් තැනෙක්හි පිහිටියාහුද, ඒ පොළොව මාගේ හිස පෙළයි. පිහිට ඇති තැනින් භය උපනි.

“යමක් කරණකොට ගෙණ බත් පිසද්ද, යමක් කරණකොට ගෙණ ශීත නසීද, ඒ මේ ගින්න තෙම මාගේ ශරීරය දවයි. පිහිටවූ තැනින් භය උපනි.

“අනුභව කළාවූ යම් ආහාරයකින් බොහෝවූ බ්‍රාහ්මණ ක්ෂත්‍රියයෝ යැපෙද්ද, ඒ ආහාරය තෙම අනුභව කරන ලද්දේ මා විනාශයට පමුණුවයි. පිහිට ඇති තැනින් භය උපනි.

“ග්‍රීෂ්ම ඍතූන් සම්බන්ධවූ අන්තිම මාසයෙහි පණ්ඩිතයෝ වාතය කැමතිවෙත්. ඒ වාතය තෙම මාගේ ශරීරය බිඳිනේය. පිහිට ඇති තැනින් භය උපනි.

“යම්බඳුවූ ගසක් පක්ෂීහු ඇසුරු කළෝද, ඒ මේ ගස ගිනිපිට කෙරේද, පක්ෂීණි, දිශාවන් භජනය කරව්. පිහිට ඇති තැනින් භය උපනි.

“මල්දම් පැලැන්දාවූ සඳුන් සුවඳ ගැල්වූ යමක් සොම්නස් සහිතව ගෙනයෙම්ද, ඒ යෙහෙළිතොමෝ මා ගෙදරින් නෙරපන්නීය. එවැනි පිහිට ඇති තැනින් භය උපනි.

“උපන්නාවූ යමකු කරණකොට ගෙණ සතුටුවීම්ද යමකුගේ අභිවෘද්ධිය කැමතිවීම්ද, හෙතෙම මා ගෙයින් නෙරපයි. එසේවූ පිහිට ඇති තැනින් භය උපනි.

“රැස්වූ ජනපද වාසීහුද නියම්ගම් වාසීහුද මාගේ වචනය අසත්වා. යම් ජලයෙක් ඇද්ද, ඒ ජලය ගිනි ඇවිල ගත්තේය. යම් රජෙකු කෙරෙන් ක්ෂෙම වේද, ඒ රජහු කෙරෙන් භය උපන්නේය. ඒ කෙසේද යත්.

“රජතෙමේද පුරොහිත බ්‍රාහ්මණයාද රට පැහැර ගණියි. එහෙයින් පිහිට ඇති තැනින් භය උපනි. තෙපි තමන් විසින් රක්ෂා කරණලද්දාහු වාසය කරව්.”

පදකුසලමාණවජාතකං ඡට්ඨං.